spot_img
spot_imgspot_img

මහින්ද විදුහලේ මුදල් වංචා සිද්ධියට, හිටපු විදුහල්පති රිමාන්ඩ්

පුවත්

විදෙස්

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කරමින් වසර 07ක් සේවය කළ විදුහලපතිවරයා හෙට (02) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවෙල අද (01) නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය කරන ලද්දේ අද උදෑසන සැකකරු පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

ඔහු විදුහල්පති ධූරය දැරූ වසර 07 කාලයෙන් අවසන් වසරක පමණ කාලයේ දී පාසල් සංවර්ධන සමිතියේ ගිනුමෙන් ව්‍යාජ චෙක්පත් ලියමින් සහ කූඨ ලේඛන සකස් කරමින් රුපියල් 2,356,000.00 ක මුදලක් වංචා කර ඇතැයි වත්මන් විදුහල්පතිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මීට පෙර එම පැමිණිල්ල සඳහා සැකපිට අත්අඩංගුවට ගත පාසල් ලිපිකාරිනියක් ද හෙට (02) දක්වා රිමාන්ඩ් කර තිබේ.

ගාල්ල පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් සැකකරු පොලිසියට ඉදිරිපත් කළ අතර එහි නිලධාරීන් අධිකරණයට කියා සිටියේ මෙම මූල්‍ය වංචාව පිළිබඳ කරන ලද විමර්ශන අනුව එය පොදු දේපළ පනත යටතට ගැනෙන බවයි. විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බවත් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බැවින් ඇප ලබාදීමට විරුද්ධවන බව ද පොලිසිය විසින් ප්‍රකාශ කරන ලදී.

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ අධිකරණයට කියා සිටියේ සැකකරු වසර 07ක් විදුහල්පතිධූරය දැරුවද මෙතෙක් අනාවරණය වී ඇත්තේ එක් වසරක මූල්‍ය වංචා පමණක් බවයි. මෙම ගිනුමේ ඇත්තේ පාසල් ළමුන් වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් බවත්, පුද්ගයන් 06 දෙනකු අත්සන් කර අනුමත කළ යුතු මුදල් ගෙවීම් විදුහල්පතිවරයා විසින් පමණක් අනුමත කර ඇති බවත් ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය. එමෙන් ම එය පොදු දේපළ පනත යටතේ ගැනෙන වරදක් බැවින් සැකකරුට ඇප ලබාදීමට විරෝධය ප්‍රකාශය කරන බව ද නීතිඥ නාර‍ංගොඩ කියා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංඝ ඉන්ද්‍රතිස්ස සැකකරුට ඇප ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධතාවක් නොමැති බව ප්‍රකාශ කළේය.

පොදු දේපළ පනත යටතේ මෙම සිද්ධිය සැලකිල්ලට ගත හැකි ද යන්නත්, වංචාවක් සිදුව ඇතැයි පවසන පාසල් සංවර්ධන සමිති ගිනුමේ ඇති මුදල් පාසල් දරුවන්ගේ අරමුදල් හෝ විගණනය කළ යුතු මුදල් ද යන්න පිළිබඳ තමන්‍ගේ පැහැදිළිි කිරීමක් හෙට (02) දිනයේ නැවත නඩුව කැඳවීමෙන් පසු අධිකරණය හමුවේ සිදුකරන බව ද හෙතෙම කියා සිටියේය.

එමෙන් ම මෙහි පළමු සැකකාරියට මේ සම්බන්ධ වගකීම ඇති බව ද ඇය මෙම සැකකාර හිටපු විදුහල්පතිවරයා ඉවත්ව ගිය පසුව ද එවැනිම වංචා සහගත චෙක්පතක් ලියා ඇති බව ද ඔහු අධිකරණය හමුවේ කරුණු දැක්වූයේ. එමෙන් ම තම සේවාදායකයා අධිකරණයට නොපැමිණි බව කියා සිටිය ද ඔහුට කිසිම අවස්ථාවක කැඳවීම් ලැබී නොතිබුණු බව ද නොතීසියක් ලැබී නොතිබූ බව ද ජනාධිපති නීතිඥවරයා කීවේය.

මෙම පැමිණිල්ල හේතුවෙන් අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පාසල් ලිපිකාරිනිය ද හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන්නයැයි බන්ධනාගාරය දැනුම් දුන් අතර මෙම නඩුවට අදාලව දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ලිපිකාරිනිය පළමු සැකකාරිය වී ඇත්තේ ඇය මුලින් අධිකරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන් බව ද මහේස්ත්‍රාත්වරයා කීවේය.

දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පාසල් ලිපිකාරිනියගේ නීතිඥ අජිත් කුමාර අද මෝෂන් පත්‍රයක් අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් තම සේවාදායකයා විසින් ළමා හා කාන්තා කාර්යාංශයේ කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් සම්පූර්ණ පැමිණිල්ලක් කිරීමට අවස්ථාවක් නොලැබුණු බව ප්‍රකාශ කළේය.

එමෙන් ම ඇය දැනට බන්ධනාගාරගත කර තිබෙන බැවින් ඇය විශාල අගතියකට පත්ව ඇති බව ද ඇයට හිටපු විදුහල්පති ගාමිණී ජයවර්ධනගෙන් සිදු වූ ලිංගික අතවර පිළිබඳ වත්මන් විදුහල්පතිවරයාට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට ලිඛිතව කරුණු දක්වා ඇතත් මේ සම්බන්ධයෙන් සැකකාරියට සම්පූර්ණ ප්‍රකාශයක් දීමට නොහැකි වූ බව ද පෙන්වා දී තිබිණි. මේ අනුව අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ ඇයගේ සම්පූර්ණ ප්‍රකාශයක් ගන්න ලෙස පොලිසියට දැනුම් දුන්නාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර හිටපු විදුහල්පති ගාමිණී ජයවර්ධන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නීතිවරුන්වන රජින්ද්‍ර නාරංගොඩ, ඉඳුනිල් හේවගේ, රජිත් ප්‍රියන්ත, ඒ.ඩී.සී.දර්ශන, මෙත්සිරි රත්නායක යන නීතිඥවරු පෙනී සිටියහ.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරු වන කාලිංඝ ඉන්ද්‍රතිස්ස, ඒ.පී.ජී.සරත්චන්ද්‍ර සමඟ ප්‍රදීප් මදනායක, හේමන්ත විතාරණ, චන්දන ‍ගොඩකන්ද, සමිත් ගාල්ලගේ සහ අවන්ත නාගහවත්ත යන නීතිඥවරු පෙනී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!