-5.9 C
New York

මහින්දයේ හිටපු විදුහල්පති සොයා පොලිස් මෙහෙයුම්

Published:

ගාල්ල මහින්ද විද්‍යාලයේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එම විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කළ ගාමිණී ජයවර්ධන පොලිසිය මගහරිමින් සිටින බැවින් ඔහු සොයා මේ වනවිට පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මහින්ද විද්‍යාලයේ වත්මන් විදුහල්පති අතුල විජේවර්ධන විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් සහ එම පැමිණිල්ලට අදාලව අධිකරණයට ප්‍රකාශයක් ලබාදීම සඳහා ගාමිණී ජයවර්ධනට අද (29) ගාල්ල පොලිස් අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දැනුම් දි තිබිණි. මීට පෙර ද ඔහු පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද පැමිණ තිබුණේ නැත.

අද උදෑසන පොලිසියට නොපැමිණි ඔහු නීතිඥයකුගේ මාර්ගයෙන් අද පැමිණිය නොහැකි බවට පොලිසියට දැනුම් දීමට උත්සාහ ගත්ත ද එය භාර නොගත් බව පොලිසියේ උසස් නිලධාරියකු අප සමග කීවේය. ‍

එම මුදල් වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ලබන 02 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා සිටින ලිපිකාරිණිය ද හිටපු විදුහල්පතිවරයා තමන් ලිංගික අප‍යෝජනයට ලක්කළ බවට ගාල්ල පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

මේ දක්වාම පොලිසිය මගහැර සිටින හිටපු වැඩ ආවරණය කරන විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇති අතර ඔහු සොය උණවටුනේ පිහිටි සංචාරක හෝටලයක් ද පරීක්ෂා කර තිබේ. මීට අමතරව ඔහු පදිංචිව සිටින නිවසක් ද පරීක්ෂා කර ඇතත් බිරිඳ පවසා ඇත්තේ තම සැමියා කොළඹ ගිය බවයි.

මෙම සැකකරු පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ සහ දේශපාලන හිතවතුන්ගේ මාර්ගනේ පොලිස් පරීක්ෂණවලට බලපෑම් කරමින් සිටින බවට රිමාන්ඩ්භාරයේ සිටින ලිපිකාරිනි‍යගේ නීතිඥවරු පසුගිය 26 වැනි දා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී ප්‍රකාශ කළේය.

අධිකරණය පොලිසියට දැනුම් දී ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන ලෙසයි. එමෙන් ම යම් බලපෑමක් තිබේනම් ඒ බව අධිිකරණයට දැනුම් දෙන ලෙසද දන්වා ඇත.

මහින්ද විද්‍යාලයේ හිටපු වැඩබලන විදුහල්පතිවරයාට රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීම, ලිංගික අතවර කිරීම සහ ලිංගික අල්ලස් ලබාදීම යන චෝදනා එල්ල වී ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img