-5.9 C
New York

මහින්දයේ මූල්‍ය වංචාව යට ගහන්න පොලිස් ලොක්කන්ගෙන් බලපෑම්. හිටපු විදුහල්පති නිදැල්ලේ. අධිකරණයෙන් පොලිසියට අවවාද

Published:

ගාල්ල මහින්ද විද්‍යාලයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිස් පැමිණිලිවල නම් සටහන්ව ඇති ප්‍රධාන සැකකරුවන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භකරන ලෙසත් ඒ පිළිබඳ යම් ගැටලුවක් ඇත්නම් ඒ බව අධිකරණයට වාර්තා කරන ලෙසත් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා පොලිසියට තරයේ අවවාද කරමින් කියා සිටියේය.

මහේස්ත්‍රාත්වරයා මේ බව කියා සිටියේ මහින්ද විද්‍යාලයේ හිටපු වැඩබලන විදුහල්පති ගාමිණී ජයවර්ධන විසින් රුපයිල් 90,000.00 ක මුදලක් මහජන බැංකුවේ ටෙලර් යන්ත්‍රයකින් මහින්ද විද්‍යාලයේ ගිනුමක තැන්පත් කර ඊට අදාල රිසිට්පත දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පාසල් ලිපිකාරිනියගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් මගින් එවා ඇති බැවින් විදුහලේ බැංකු ගිනුම් පරීක්ෂා කිරීමට පොලිසිය අවසර ඉල්ලූ අවස්ථාවේ දී ය.

පොලිසිය විසින් මෙම ඉල්ලීම සිදුකළ අවස්ථාවේ දී දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ලිපිකාරිනියගේ නීතිඥවරුවන අජිත් කුමාර සහ ප්‍රසන්ත ද සිල්වා කියා සිටියේ මෙම මුදල් තැන්පත් කිරීමේ සිදුවීම පවා තම සේවාදායිකාව විසින් පොලිසියට පැවසූ කරුණක් බවයි.

මූල්‍ය වංචාව හෙළිවීමෙන් පසු රුපියල් 90,000ක මුදලක් මහින්ද විද්‍යාලයීය පාසල් සංවර්ධන සමිතියේ ගිනුමට බැර කළ හිටපු විදුහල්පතිවරයා එයට සම්බන්ධ ලදුපත ලිපිකාරිනිය වෙත එවා මේ මුදල් ඉක්මණින් ගෙවා මේ සිද්ධිය ගොඩින් බේරාගනිමු යැයි තම සේවාදායකයාට යෝජනාකර තිබූ බව ද නීතිඥවරු අද අධිකරණයේ දී කියා සිටියහ.

ඒ බව පොලිසියට දුන් ප්‍රකාශයන්හි පැහැදිලිව සටහන් කර තිබිය දී පවා පොලිසිය සැකකාර හිටපු වැඩබලන විදුහල්පති ගාමිණී ජයවර්ධනගෙන් සහ භාණ්ඩාගාරිකගෙන් ප්‍රකාශයක් හෝ නොගැනීම පුදුමයට කරුණක් බව ද ඔවුහු කීහ.

එමෙන්ම මුදල් රෙගුලාසි සහ රාජ්‍ය දේපළ පරිහරණය අනුව හිටපු වැඩබලන විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ භාණ්ඩාගාරික මෙහි දී සෘජු වරදකරුවන් වන බැවින් පොලිසිය විවිධ වාර්තා සඳහා දින දින අධිකරණයෙන් අවසර ඉල්ලමින් කල් ගත කරන්නේ නැතිව ඔවුන් සම්බන්ධ පරීක්ෂණ කිරීම අවශ්‍ය බව ද නීතිඥවරු කියා සිටියහ.

එමෙන්ම පොලිසියේ ඉහළ නිලධාරීන් මෙම පරීක්ෂණ යටපත් කිරීම සඳහා පොලිසියට බලපෑම් කරන බවත් එය ඉතාමත් නින්දිත සහ නීතිවිරෝධී ක්‍රියාවක් බවත් එයට හේතුවී ඇත්තේ හිටපු වැඩබලන විදුහල්පතිවරයාගෙන් පොලිසියේ උසස් නිලධාරීන් ද අයුතු ප්‍රයෝජන ගෙන තිබීම බවත් නීතිඥවරු අධිකරණයේ දී කියා සිටියහ. මේ හේතුවෙන් මුදල් වංචාව සම්බන්ධයෙන් වත්මන් විදුහල්පතිවරයා විසින් කරන ලද පැමිණිල්ලේ නම් සඳහන්වන හිටපු විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ භාණ්ඩාගාරික මෙතෙක් ප්‍රකාශයක් ලබාගැනීමට හෝ පොලිසියට කැඳවන්නේ නැතිවව පොලිසිය කැලේ යන බව ද ඔවුහු පෙන්වාදුන්හ.

මේ අවස්ථාවේ දී පොලිසියට තරයේ අවවාධ කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල කියා සිටියේ වාහම මෙම පරීක්ෂණ නිසි පරිදි සිදුකරන ලෙසයි.

Related articles

Recent articles

spot_img