කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 48,346ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,617ක් බවට පත්විය. අද දිනයේ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 111කින් ඉහළ ගිය අතර එය ඒකක 10,928ක් බවට පත්විය.
අද දිනයේ වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 921යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 601යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 546ක් ලෙස ද, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 52යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 20යි, සියෙරා කේබල් සමාගම කොටස් මිලියන 14යි ලෙස කැපී පෙණිනි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 454ක් ඉක්මවූ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද, රුපියල් බිලියන 426ක් ඉක්මවූ කමර්ෂල් ලීසිං සමාගම දෙවැනි ස්ථානයට ද, රුපියල් බිලියන 424ක් ඉක්මවූ එල්ඕඑල්සී සමාගම තෙවැනි ස්තානයටත් පත්ව තිබිණි.
අද දිනය තුළ පමණක් එල්ඕඑල්සී සමාගමේ කොටසක මිල රුපියල් 126.00කින් වැඩි වූ අතර එය රුපියල් 907.00ක් බවට පත්විය.
දිනයේ වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර ඊඑම්එල් කන්සල්ටන් සමාගම 27%කින් ද කැලණි කේබල් සමාගම 24%කින් ද බෝගල ග්‍රැෆයිට් සමාගම 23%කින් ද ප්‍රධාන විය.
සංවෘත කවය තුළ බ්‍රවුන්ස් ලංකා සමාගමේ කොටස් 150,000ක් රුපියල් 204.00 බැගින් ද එල්ඕඑල්සී සමාගම කොටස් 140,000ක් රුපියල් 809.00 සහ 811.00 බැගින් ද හුවමාරු විය.
විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 61ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 217ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනය තුළ දී පමණක් ශුද්ධ ලෙස විදේශීය අයෝජකයන් විසින් රුපියල් මිලියන 156ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.
2021 වර්ෂයේ දී පමණක් අද දිනය දක්වා විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් රුපියල් බිලියන 48.541ක මුදලක් ඉවත් කරගෙන තිබේ.
2021 වර්ෂයේ ලෝකයේ කොටස් වෙළෙඳ පොළවල් අතරින් වැඩිම කොටස් මිල වර්ධනයක් පෙන්වූ කොටස් වෙළෙඳ පොළ ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ පත්ව ඇත. මෙහි විශේෂත්වය වන්නේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු කෙරෙහි නව ගිනුම් විශාල වශයෙන් ආරම්භවීමත් එම නව ගිනුම් අතරින් 41%ක් ම වයස අවුරුදු 18-35 වයසේ පසුවන තරුණ ආයෝජකයන් වීමයි.
ඒ අනුව විමසා බැලීමේ දී 2021 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ මුල් මාස 10 තුළ දී පමණක් සියලු ඉලක්කයන් අභිබවා කොටස් වෙළෙඳ පොළ ගිනුම් ආරම්භ වී ඇති අතර එම සියලු නිර්ණායකයන් 2021 වර්ෂයේ දී මෙතෙක් වැඩිම අගයන් ලෙස වාර්තාවීම ද විශේෂත්වයකි.
ඒ අනුව දේශීය තනි පුද්ගල ආයෝජකයන් 2021 මාස 10ක කාලයේ දී ගිනුම් 637,694ක් ද දේශීය සමාගම් ගිනුම් 11,294ක් ද විදේශීය තනි පුද්ගලයන් ගිනුම් 4,872ක් ද, විදේශීය සමාගම් ගිනුම් 5,718ක් ද ආරම්භ කර ඇත. එම සියලුම එක් එක් කොට්ඨාසවල ආරම්භ කරන ලද ගිනුම් සංඛ්‍යාවන් පෙර අගයන් සියල්ල ඉක්මවා තිබීම ද සාධනීය ලක්ෂණයකි.
විශේෂයෙන් ම විදේශීය ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් තම ආයෝජන ඉවත් කරගැනීමට කටයුතු කළ ද එම ඉවත් කරගැනීම් අවශෝෂණය කරගැනීමට දේශීය ආයෝජකයන් සමත්ව ඇත.
දේශීය ආයෝජකයන්ගේ කොටස් වෙළෙඳ පොළ සහභාගීත්වය ඉතිහාසයේ ප්‍රථම වරට මෙම වසරේ මුල් මාස 10 තුළ දී පමණක් 93%ක ඉහළ අගයකට පත්ව ඇත.
(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)
