ගාල්ල මහින්ද විද්‍යාලයේ සිදුව ඇතැයි කියන චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාසල් ලිපිකාරිනියක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු වස පානය කර රෝහල්ගත කර ඇත.
මෙලෙස රිමාන්ඩ් කළ ලිපිකාරිනිය පාසල් සංවර්ධන සමිතියේ චෙක්පත් ලිවීම සම්බන්ධ කටයුතු සිදුකර ඇති අතර එහි දී මුදල් වංචාවන් රැසක් සිදුව ඇතැයි විදුහලේ වත්මන් විදුහල්පති අතුල විජේවර්ධන විසින් පොලිිසයට පැමිණිලි කර තිබිණි.
එම පැමිණිල්ලට අනුව ගාල්ල දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ගාල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සෘජු මෙහෙයුම් මත ගාල්ල මූලස්ථාන පොලිසියේ විශේෂ වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් අද (23) උදෑසන විමර්ශනය සඳහා ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව සැකකාරිය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂන් කැකුණාවෙල වෙත ඉදිරිපත් කරන ලදී.
පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ රජින්ද්‍ර නාරංගොඩගේ උපදෙස් මත පෙනී සිටි නීතිඥ ඒ.ඩී.සී.දර්ශන අධිිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ 2021 වර්ෂයට අදාලව දැනට සොයාගෙන ඇති වංචා කළැයි සැකකරන මුදල රුපියල් ලක්ෂ 21කට අධික බවයි. එමෙන් ම එම සිද්ධියට අදාල තවත් සැකකරුවන් සිටින බැවින් ඔවුන් ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන්න යැයි නීතිඥවරු මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියහ.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් කුමාර සහ නීතිඥ ප්‍රසන්ත ද සිල්වා කියා සිටියේ එම සැකකාරිය මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා විසින් දීර්ඝ කාලයක් තිස්සේ ලිංගිකව අපයෝජනයට ලක්කර ඇති බවයි. එමෙන්ම මේ කාන්තාව විසින් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ විදුහල්පතිගේ අකටයුතුකම් සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවත් මෙම කාන්තාව ඇප මත මුදාහරින ලෙසත් නීතිඥවරු ඉල්ලා සිටියහ.
මෙතෙක් පරීක්ෂණ අවසන්ව නැති බැවින් සහ අනෙකුත් සැකකරුවන් ඉදිරියේ දී අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළ අතර එම සැකකාරිය දෙසැම්බර් 02 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.
රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු එම සැකකාරිය බන්ධනාගාර මැදිරිය ආසන්නයේ දී යම් වස වර්ගයක් පානය කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් මැදිහත්ව එය වැළක්වීමට ද උත්සාහ දරා ඇත.
එම වස පානය කිරීමෙන් පසු ඇය සිහි මුර්ජා වී ඇති අතර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.



