spot_img
spot_imgspot_img

කිසිදා අත්අඩංගුවට ගත නොහැකි වූ, රෝහණ විජේවීරගේ විශ්වාසවන්ත ම සේවකයා

පුවත්

විදෙස්

රටම ගිනි ඇවිළෙමින් තිබිණි.

තැන තැන දැවී යන මළ සිරුරුය

තවත් තැනක රජයේ ගොඩනැගිලි ගිනි බත්වී ඇත.

ඇතැම් තැනක වැට කඩුල්ලක ඇමුණූ කපා දැමූ මිනිස් හිසකි.

යුද හමුදා සෙබළුත්, පොලිසියත් රට පුරාම පීරමින් කැරළි කරුවෝ සොයති

රජයේ ඇඳිරිනීතිය මෙන් ම සන්නද්ධ කණ්ඩායම්වල ඇඳිරිනීතියත් වරින් වර ක්‍රියාත්මක වෙයි.

මේ අතර අම්බලන්තොට නිවසක රාත්‍රී රූපවාහිනී යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙමින් ඇත.

ඒ ඉදිරිපිට වාඩිවී සිටින් පිරිසක් ප්‍රවෘත්ති විකාශයටක් බලා සිටියි.

මෙතෙක් කල් සැඟ වී සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවිර උලපනේ නිවසක දී අත්අඩංගුවට ගත් බවත් ඔහු අත්තනායක නම් වැවිළිකරුවකු ලෙස පෙනී සිට ඇති බවත් අත්අඩංගුවේ දී ඔහුගේ ම සඟයකු විසින් තැබූ වෙඩි පහරකින් මියගිය බවත් විශේෂ ප්‍රවෘත්තියක් ලෙස විකාශය කෙරිණි.

මේ සියල්ල බලා සිටි අම්බලන්තොට පදිංචි නන්දසේන එදිරිවීර ගේ සිත ගැස්සී ගියේය.

“ඒයි, මේ රෝහණ විජේවීර නෙවෙයිනේ, ආණ්ඩුවට වැරදිලා. මොන බොරුවක් ද මේ.” එකකු කියනු ඔහුට ඇසිණි.

නමුත් මේ පෙන්වන්නේ රෝහණ විජේවීර බවත් දැන් ඔහු මියගොස් ඇති බවත් නන්දසේන එදිරිවීර තරම් හොඳින් දන්නා කවරකුවත් එහි සිටියේ නැත.

නන්දසේන කාටත් නොදැනෙන ලෙස නැගිට ක්‍රමයෙන් එතැනින් ඉවත්ව ගියේය.

නමුත් ඔහුට යන්නට තැනක් නැත. යළි වනයට වැදෙන්නට සිතූ ඔහු වනය දෙසටම ඇවිද ගියේය.

මේ නන්දසේන යනු වෙනත් කවරකු හෝ නොව 1983 දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට පෙර පටන් ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන සාමාජිකයකු මෙන් ම රෝහණ විජේවීරගේ සමීපයෙන් ම සිටි සේවකයාය.

ඔහු රෝහණ විජේවීර හසුවීමට දින කිහිපයකට පෙර දක්වා ම ඔහුගේ ආරක්ෂකයා මෙන්ම රියදුරා ලෙස ද කටයුතු කළේය.

රජය කොතරම් දරුණු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල මැඩ පැවැත්වුව ද රෝහණ විජේවීරගේ සමීපතම සේවකයා කිසිදිනක අත්අඩංගුවට ගන්නට හැකිවූයේ නැත.

“මාවත් අහුවුණානම් ඉතින් මරල දානවා. ඒකේ ආයේ දෙකක් නෑ.” යයි නන්දසේන පවසයි.

1960 ‍අප්‍රෙල් මස 17 වැනි දා උපත ලැබූ නන්දසේන ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ‍ වන්නේ සිය ඥාති සහෝදරයකු හේතුවෙනි.

ඒ ඥාතියා 1971 කැරැල්ලට හසු වී සිරගතව පුනරුත්ථාපනය ලබා පැමිණි අයෙකි. තිස්සමහාරාමයේ උඩුවිල පදිංචිව සිටි තම නැන්දාගේ පුතා ඒ ඥාතියාය.

“අයියා කැරැල්ලට හසුවෙලා හිරගත වෙලා හිටියේ. එයා 1971 දේශපාලන මණ්ඩලයේ පවා හිටපු කෙනෙක්. මෙයාව අත්අඩංගුවට අරගෙන පුනරුත්ථාපනයට යොමුකරලා තිබුණා. ඒ දවස්වල නැන්දා අපේ ගෙදර ඇවිත් අයියාව බලන්න යන්නේ මමත් අම්මාත් එක්ක. ඉතින් ඒ දවස්වල අයියා හිරගෙදර හදන ලස්සන ලස්සන බඩු මට දෙනවා. එයා පන්ති පහම කරපු කෙනෙක්. නැවත නිදහස් වෙලා ආවට පස්සේ එයා එක්ක එකතුවෙලා මම පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් වුණා.”

ටික දිනකින් පූර්ණ කාලීනව පක්ෂයේ කටයුතුවලටම කැපවූ නන්දසේන කොළඹ කොහිලවත්තේ පිහිටි ශක්ති මුද්‍රණාලයේ කටයුතුවලට සම්බන්ධ කරගෙන තිබිණි. 1978 වර්ෂයේ පමණ සිට එහි කටයුතු කළ ඔහුට රෝහණ විජේවීර ද හඳුනාගැනීමට අවස්ථාව ලැබිණි.

ඔහු පවසන්නේ එකළ රෝහණ විජේවීර දිනක් හැර දිනක් පමණ එම මුද්‍රණාලයට පැමිණෙන බවයි.  

“අපි වැඩ කරන තැන අඹථලේ පාරේ කැලණි ග‍ඟේ අනිත් පැත්තේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් හිටියා මැරයෙක් වගේ. දවසක් මෙයා බීගෙන ඇවිත් අපිත් එක්ක රණ්ඩුවක් ඇල්ලුවා. මම මිනිහට හොඳටම ගැහුවා. තුවාල වෙලා ඉස්පිරිතාලෙට අරන් ගියා. මාව පොලිසියේ අරන් ගියා. විජේවීර සහෝදරයත් මාව බලන්න ‍පොලිසියට පවා ආවා.”

නමුත් මේ සිද්ධිය නන්දසේනගේ ජීවිතය යළිත් වතාවක් වෙනස් කරන්නට සමත්වූයේය. ඔහු නිතර රණ්ඩු ඇතිකරගන්නා බව කියමින් මුද්‍රණාලයේ අය ඔහු වෙනත් තැනකට යවන්න යැයි කියූ බැවින් රෝහණ විජේවීර නන්දසේන තමන් අසළම තබාගැනීමට තීරණය කර තිබිණි.

ඔහුට සිදුවූයේ පක්ෂ නායකයාගේ රියදුරා සහ ආරක්ෂකයා වීමටයි. ඒ නිසා එතැන් පටන් රෝහණ විජේවීර යන එන සෑම තැනම ඔහු සමඟ යාමට නන්දසේනට සිදුවිය. මේ නිසාම ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයන් බොහෝ දෙනකු දැන සිටියේය. ඔහු පවසන්නේ එවකට රෝහණ විජේවීරට යාපනයට යන්න නොදුන් බවයි. නමුත් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගොස් පක්ෂ සාමාජිකයන් හමු වී ඔවුන් මෙහෙයවීම සිදුකෙරිණි.

1983 ජූලි කලබල සිදුවන විට තම පක්ෂය යළි තහනම් කිරීමට ඉඩ ඇති බව විජේවීර දැන සිටියේය. ඒ නිසා පක්ෂය තහනම් කළහොත් ඒ සඳහා ආරක්ෂක පියවර ගැනීම සඳහා සූදානමක් ද පැවතිණි. නන්දසේනට ද ඊට අවශ්‍ය උපදෙස් ලැබී තිබිණි.

රජය ජූලි කලබලවල චෝදනාවට ජනතා විමුක්ති පෙරමුණට එල්ල කරමින් එය තහනම් කරද්දී රෝහණ විජේවිර තම හිතවත්ම කිහිප දෙනකු සමඟ වනාන්තරයට පලා ගියේය.

පක්ෂය තහනම් කිරීමට දින දෙකකට පෙර නන්දසේන සිය මව රෝගාතුර වීම හේතුවෙන් හම්බන්තොට නිවසට පැමිණ සිටියේය. පක්ෂ තහනමත් සමඟම මුද්‍රණාලයට ද රජයෙන් මුද්‍රා තබා තිබිණි.

“ අපි නතර වුණේ සෙල්ලකතරගම ඉදලා මහ කැලේ කිලෝ මීටර 15ක් විතර එහායින්. මිනිස් පුළුටක් නෑ. එතැන හේනක් කොටාගෙන පැල් කොටේකුත් අටවගත්තා. එදා ඉදලා අවුරුදු ගණනක් හේන් කොටන බව පෙන්න තියාගෙන අපි කැලේටම වෙලා හිටියා. රෝහණ විජේවීර සහෝදරයා අපිත් එක්ක දිගටම හිටියා.” නන්දසේන පවසයි.

ඔවුහු හේනේ කුරක්කන්, මිරිස් වැනි භෝග වගා කළහ. පොල් අතුවලින් වාඩිය සැකසුණු අතර රාත්‍රියේ ඔවුන්ට ආලෝකය ලැබුණේ ලන්තෑරුමකින් සහ ගිනිමැලයකිනි. නිතරම පොත් කියවමින් සහ මොනවා හෝ ලියමින් සිටින රෝහණ විජේවීර හැකි සෑම විටම තමන් ඇතුළු පිරිසට උයන පිහන කටයුතු සඳහා ද උදව් කළ බව හෙතෙම කියයි.

ඒ හේන් ජීවිතය ඉතාමත් දුෂ්කර සහ වේදනාකාරී වූ බව නන්දසේන අදටත් කියයි. වරින් වර කැලෑ ‍වදින දඩයක්කාරයන් ඔවුන්ට හමුවෙන අවස්ථා ද තිබිණි. ඇතැම් විට වන ජීවී නිලධාරීන් ද එහි පැමි‍ණ යයි. මෙලෙස පැමිණෙන කිසිවෙකුට රෝහණ විජේවිර හඳුනාගැනීමට නොහැක. ඔහු රැවුල සහ කොණ්ඩය කපා දමා වෙනස්ම මුහුණුවරක් ගෙන සිටියේය. පිටස්තර පුද්ගලයකු හේන දෙසට එන්නේ නම් වාඩියේ පිටිපස ඇති දොරකින් තවත් අයකු සමඟ වනය දෙසට පැන යාම විජේවීරගේ ක්‍රමය වී තිබිණි.

මේ මහා වනාන්තරයේ අලි, කොටි, වලසුන්ගෙන් ද අඩුවක් තිබුණේ නැත. ඔවුන්ගේ ඇතැම් බව භෝග අලි සහ වල් ඌරන් විසින් විනාශ කර දමා තිබූ අතර හේනක් කිරීමේ අරමුණ සැඟවී සිටීම පමණක් වීමත් මුදල් ඉපයීමේ අවශ්‍යතාවක් නොතිබීමත් නිසා ඔවුන්ට එය ගැටලුවක් වූයේ නැත.

මේ මහ වනයේ ජීවත් වෙද්දී ඔවුන් සියලු දෙනාට ම මැලේරියාව සෑදී තිබිණි.

රෝහණ විජේවීරට ද මැලේරියාවෙක් ගැලවීමක් තිබුණේ නැත. ඔහු පවසන්නේ රෝහණ විජේවීර මැලේරියාව හැදුණු අවස්ථා‍වක දී ඔවුහු කතරගම මැලේරියා මර්ධන ඒකකයට පැමිණ බෙහෙත් රැගෙන යයි. විජේවීරට මැලේරියාව හැදුණේ එක් වරක් පමණක් නොවේ. කිහිප වරක් ම ඔහු මැලේරියා රෝගයට ගොදුරු වූ‍යේය.

වසර ගණනාවකට පසු වනාන්තරයේ ජීවිතයට සමුදීමට තිරණය විය. ඒ අනුව හල්දුම්මුල්ලේ ‍පොඩි වත්තක් සහ ගෙයක් පක්ෂය විසින් මිල දී ගෙන තිබිණි. රෝහණ විජේවීර ඇතුළු කණ්ඩායම එහි ගියහ.

ඉන් පසු බණ්ඩාරවෙල නෙළුව ප්‍රදේශයේ වලව්වක් සමඟ අක්කර 14ක තේ ඉඩමක් මිල දී ගත් අතර පිරිස එහි පදිංචි වූහ.

“මම තමයි ආරක්ෂාවටයි රියදුරු වැඩේටයි හිටියේ. එතැන ඩෙලිකා එල්සී 100 එකක්, තට්ටු ලොරියක් සහ කාරයක් තිබුණා.”

රෝහණ විජේවීර නිවසට ගිය දිනයේ පටන් වෙනත් කිසිවකු හමුවූයේ නැත. බිරිඳ සහ ළමයි සියලු දෙනා ඒ නිවසට පැමිණ පදිංචිවූහ. පොඩි නංගී නමින් හැඳින්වූ ජනතා විමකුත් පෙරමුණෙ ක්‍රියාකාරිනියක් දරුවන් බලාගැනීමේ කටයුතු සහා යොමු කෙරිණි. දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට එවුන් කිසිදු පාසලකට යැවුණේ නැත. දරුවන්ට ඉගැන්වූයේ නිවසට පැමිණි ගුරුවරියක විසිනි.

රෝහණ විජේවීරට වැඩි කිරීමට වේලාවක් අවේලාවක් වූයේ නැත. දවස පුරාම පොත්පත් කියවමින් සහ විවිධ දේ ලියමින් ඔහු කාලය ගත කරයි. ඇතැම් දිනවල දී එළිවෙන තුරුම නිදි නැතිව සිටින ඔහු ඇතැම් දිනවල දී අලුයම නින්දට ගොස් යළි උදෑසන නැගිටියි.

රෝහණ විජේවීරගේ බාලම පුතු ලැබීම දින ආසන්නව තිබිණි. එක් දිනක් උදෑසන රෝහණ විජේවීරගේ බිරිඳ සහ උදව්වට සිටි ගැහැනු ළමයා සමඟ ඔවුන් බදුල්ල සාත්තු නිවාසයකට රැගෙන ගියේ ද නන්දසේන විසිනි. උදෑසන රෝහල්ගත කළවිට රාත්‍රියේ දරුවා ලැබුණා.”

තේ වත්තේ තේවලට අමතරව බෝංචි, ගෝවා ආදිය හිට වූ බවත් නමුත් පැය 24 ම සිටියේ මරණයට සූදානම් වී බවත් ඔහු පවසයි. දේශපාලන මණ්ඩලය, මධ්‍යම කමිටුව, මිලිටරි කමිටුව ආදිය රැස්වන්නේ ද බණ්ඩාරවෙල ඒ නිවසේ දී ය.  

“මේ කාලේ රෝහණ විජේවීර සහෝදරයා බොහොම කළකිරීමකින් හිටියේ ආණ්ඩුව කරන වැඩ ගැන. ඔවුන් නිතරම දේශපාලන පළිගැනීම් කළා. ර‍ටට වටින මිනිස්සු මරා දැම්මා. හැමෝම තවමත් අපේ පක්ෂයට ඇඟිල්ල දික්කරනවා. නමුත් වැඩිපුරම සිදුවුණේ අපේ පක්ෂය ගැන ජනතාව අතර වෛරයක් ඇතිකරන්න ඒවා රජයෙන් සහ රජයේ ම ආශිර්වාදය ලැබූ කණ්ඩායම් විසින් සිදුකළා. විජේවීර සහෝදරයා මේ ගැන නිතරම කණස්සල්ලෙන් කතා කළා.”

නන්දසේන පවසන්නේ එවැනි ඝාතන පිළිබඳ හෙළි කිරීමේ සැලැස්මක් රෝහණ විජේවීර සතුව තිබුණු බවයි. ඒවා හෙළි කරන්නට ඔහුට අවස්ථාවක් ලැබුණේ නැත.  

වත්තේ දළු අසළ ඇති ෆැක්ටරියට භාර දීම සිදුවෙයි. ඒ දළු ප්‍රමාණය ටී මේකර් විසින් අත්සන් කිරීමෙන් පසු රිසිට් එක රැගෙන යාම සිදුවෙයි.

එය ඉතාමත් තීරණාත්මක දිනයක් බව නන්දසේන දැන සිටියේ නැත. එදා ෆැක්ටරියට ගොස් තේ දළු සටහන් තබාගෙන ආපසු එමින් සිටි නන්දේසනට වත්තට ඇතුළුවන ගේට්ටුව අසළ අමුත්තක් පෙනෙන්නට තිබිණි.

වහාම තේ වත්තේ අගලකට බැසගත් ඔහු ක්‍රමයෙන් ගේට්ටුව දෙසට කිට්ටු කළේය.

පුදුමයකි පැමිණ සිටින්නේ ඊට වසර කිහියකට පෙර ජනතා විමුක්ති පෙරමුණෙන් නෙනරපා හරින ලද පීරිස් නමැති අයෙකි. පක්ෂයෙන් ඉවත් කළ දවසේ ඉදලා එයාගේ ගැටලු තිබුණා. දැන් පීරිස් රජයේ හමුදාවලට ඔත්තු සපයන්නෙක් හැටියට ඉන්න බව දන්නවා. ඔහු එන්නේ අලුතෙන් විකුණා ඇති වලව් සොයාගෙන බව ද පක්ෂය ද හොඳින් දන්නා කරුණකි. ඔහු පසුපස සීඅයිඩී නිලධාරීන් ද සිටින බව නන්දසේන පවසයි.

“මම පීරිස්ව දැක්ක හැටියේ වනෙ පැත්තකින් ගිහින් රෝහණ විජේවීරගේ කාමරයට තට්ටු කළා. කලින් දවසේ දේශපාලන මණ්ඩල රැස්වීම තිබුණු නිසා ඔහු නින්දට ගියේ එළිවෙන්න කිට්ටුව. මම කතා කරන විටත් නිදාගෙන හිටියේ. මම පීරිස් ඇවිත් සිටින බව කිව්වා. මේ පෙරනිමිත්ත හොඳ නැහැ. ඒ නිසා විජේවීර සහෝදරයා ‍නෝනා සහ ළමයි අරගෙන ඩෙලිකා වෑන් එකෙන්න අරගෙන ගියා. එතැනින් අප ගියේ වෛද්‍ය බණ්ඩාරගේ නිවසට”

ඒ වනවිට වඩාත් සුදුසු ආරක්ෂිත ස්ථානයක් ලෙස උලපනේ වත්ත ද සූදානම් කර තිබිණි. එතෙක් බණ්ඩාරවෙල වත්තේ තිබූ අත්‍යාවශ්‍ය භාණ්ඩ උලපනේ වත්තට ගෙන ගොස් තැබීමට ද නන්දසේන කටයුතු කළේය.

“මම දන්නවා පීරිස් ගේට්ටුව ගාවට ආව කියන්නේ දැන් ඉතින් ආරක්ෂක අංශ අපේ පස්සෙන් පන්නනවා. ඒ නිසා මා කොයි වෙලාවක හරි කොටුවෙන්න පුළුවන්. ඒ නිසා බණ්ඩාරවෙල වත්තේ දවස් කිහිපයක් ඉදලා මම එතැනින් හම්බන්තොට යාමට ඔහු තීරණය කළේය.

හම්බන්තොට ප්‍රදේශයට පැමිණ පක්ෂයේ කටයුතුවල නිරත වූයේය.

මෙලෙස සිටින අතර රෝහණ විජේවිර අත්අඩංගුවට පත්ව මියගිය බව රූපවාහිනියේ විකාශය වූයේය.

“රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට අරගෙන මරාදාලා කියලා දැනගත්තේ ප්‍රවෘත්තිවලින්. මේ වෙනකොට පක්ෂයේ නායකයන් බොහෝ දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණා. මේ නිසා මමත් තිරණය කළා කැලේටම යන්න. දන්න කියන ක්‍රියාකාරී හැමෝටම කිව්වා හැංගිලා ඉන්න කියලා.”

“ඒ වෙලාවේ මාත් එක්ක ටීවී බලපු කිසිම කෙනෙකුට විජේවීර සහෝදරයා අදුනගන්න බැරි වුණා. නමුත් මම හොඳින්ම දන්නවා මේ කවුද කියලා. මේක අපි හැමෝගෙම විනාශය විය හැකි බවත් මා දැනගෙන සිටියා. ඒ නිසා ළඟම සිටින ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙකුට ආරක්ෂා වෙන්න කියා කිව්වා.”

නන්දසේන පවසන්නේ දේශපාලන මණ්ඩල සභිගයකු වූ හේරත් අත්අඩංගුවට පත්වීම හේතුවෙන් මෙලෙස නායකයන් සියලු දෙනා අත්අඩංගුවට පත්වූ බවයි.

“හේරත්ට පොඩි පෙම් පලහිලව්වක් තිබුණා. එයා නිතර නිතර එහේ යනවා. මම ඒ ළමයා දැකලා තියෙනවා. මට නම් දැකපු වෙලාවේ ඉදලම හිතුණේ රහස් ඔත්තු සේවා කාන්තාවක් වෙන්න ඇති කියලා. කොහොම වුණත් කොළඹ තුනී ලෑලි සංස්ථාවේ ගබඩා සංකීර්ණය අසළින් තමයි හේරත් යන්නේ. ඔය යන එන වෙලාවක අල්ලගෙන තිබුණා.”

හේරත්ගෙන් පසු ඩීඑම් ආනනදත්, ඉන් පසු රෝහණ විජේවීරත් අත්අඩංගුවට පත්විය. ගමනායක සහෝදරයාට මේ පුවත දැනුම් දී ඔහු සොයාගෙන පණිවිඩ කරුවා යනවිටත් ආරක්ෂක අංශ ජනතා විමුක්ති පෙරමුණට පෙර ගමනායක සොයා පැමිණ සිටියේය. ඒ අනුව ගමනායක ද මියගියේ ආරක්ෂක අංශ අතිනි. ජනතා විමුක්ති පෙරම‍ුණේ දෙවැනි සන්නද්ධ කැරැල්ල එසේ අවසන් විය.

ඒ කැරැල්ලට සම්න්ධ වූ නන්දසේන එදිරිවීර අද අම්බලන්තොට රිදියගම පාරේ නිවසක ජීවත් වෙයි. 1989 දී විවාහ වී දියණියකගේ සහ පුතුන් දෙදනකුගේ පියකුව සිටියි.

ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලයෙන් පසු රියදුරකු ලෙස කටයුතු කළ ඔහු දැන් අනතුරකන් තුවාල ලබා නිවසට වී සිටියි. 1994 දී යළි ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට සම්බන්ධ වූ ඔහු අදටත් දේශපාලනයේ නිරතව සිටියි.

කැරැල්ලේ මුල් පෙළේ සාමාජිකයකු වූ හෙතෙම කිසිම දිනක අත්අඩංගුවට පත්වූවකු නොවීම ද විශේෂත්වයකි.

(සජීව විජේවීර)

1 COMMENT

  1. 1989 විවාහ උනේ කොහොමද මේ මහා කැරැල්ලක් යන අතරේ ? තමන්ගේ ජිවිතේ ගැනවත් විශ්වාසයක් නැති කාලේ ?
    අනික මේ මනුස්සය විජේවීරටත් නොකියම හොරෙන් නේද ගිහින් තියෙන්නේ ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!