-5.9 C
New York

සමාගම්වල මූලික කොටස් නිකුතුවෙන් කොටස් වෙළෙඳ පොළට ශක්තියක්

Published:

කොළඹ  කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 56,443ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,883ක් බවට පත්විය. අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සමස්ත කොටස් මිල දර්ශකය 163.7කින් ඉහළ ගිය අතර එය ඒකක 10,686ක් බවට පත්විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 1,909යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 539යි, ෂෝවොලර්ස් සමාගම රුපියල් මිලියන 519ක් ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 80යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 46යි, ෂෝවොලර්ස් සමාගම කොටස් මිලියන 42ක් ලෙස ද සටහන් විය.

අද දිනයේ ද කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස බිලියන 466ක් වාර්තා කළ කොමර්ෂල් ලීසිං සමාගම පළමු ස්ථානයට ද බිලියන 385ක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම දෙවැනි ස්ථානයට ද බිලියන 324ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම තුන්වැනි ස්ථානයටද පත්ව තිබිණි.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර බ්ලූඩයමන් සමාගම (X) 33%කින් ද, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම 23% කින් ද, රේණුක ෆුඩ්ස් (X) 19%කින් ද ප්‍රධාන විය.

සංවෘත කවය තුළ රේණුක හෝල්ඩින් සමාගමේ කොටස් මිලියන 04ක් රුපියල් 20.00 බැගින් ද, සම්පත් බැංකුව කොටස් ලක්ෂ 05ක් රුපියල් 55.00 බැගින් ද, අහුංගල්ල හෝටල් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 40.00 බැගින් ද ගනුදෙනු විය.

විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 74ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 85ක කොටස් විකුණා තිබේ. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් අද දිනයේ දී රුපියල් මිලියන 11ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන තිබේ.

මේ වසර තුළ දී පමණක් ජනවාරි 01 දා සිට අද දක්වා රුපියල් බිලියන 46.855ක මුදලක් විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර බයිරහා ෆාම් සමාගම රුපියල් මිලියන 12යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 06යි, එච්එන්ඩී බැංකුව රුපියල් මිලියන 06යි ලෙස ද විදේශ ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 16යි, නෙස්ලේ සමාගම රුපියල් මිලියන 16යි, බුකිට්ධාරා සමාගම රුපියල් මිලියන 6.9යි ලෙස ප්‍රමුඛ විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත මූලික කොටස් නිකුතුවක් වශයෙන් රුපියල් 4.00ක මිලට කොටස් මිලියන 790ක් නිකුත් කළ එල්සීබී ෆිනෑන්ස් සමාගමේ කොටස් මේ මස 16 වැනි දින සිට කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ගනුදෙනු වීමට නියමිත බවට අද දින ප්‍රකාශයට පත්කර තිබේ.

ෂන්සයින් හෝල්ඩින් සමාම අද දිනයේ ශත 50ක ලාභාංශයක් නිකුත් කර ඇත.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img