spot_img
spot_imgspot_img

ක්‍රිකට්, ආසියාවේ න්‍යෂ්ටික යුද්ධයක් වළකයි

පුවත්

විදෙස්

වින්දන ආරියවංශ විසිනි

සියවස් ගණනාවක් පුරා තරඟකාරී ක්‍රීඩා මිනිස් ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්වුණා. වෘත්තීය ක්‍රීඩාවල විකාශනය පාපන්දු සහ පැසිපන්දු වැනි ක්‍රීඩා සමාජ වාඩාත් ලාභ උපයන සමාජ සංස්කෘතියකට පවා මඟ පාදා තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව දැන් ලොව ජනප්‍රියත්වේ දෙවැනි ස්ථානයට පත්ව තිබෙන්නේ පාපන්දු ක්‍රීඩාවට පමණක් දෙවැනි වෙමිනි.  ‍ රටවල් අතර පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් තරඟ හෛවින් ජනප්‍රිය වන අතර ඒ සඳහා දේශපාලනික දායකත්වයක් ද ලැබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව හේතුවෙන් රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ද වැඩිදියුණු කිරීමට හැකියාවක් තබේ ද ?

යුද සමයේ පැවැති ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකාව බේරාගත්තේ ඉන්දියාව සහ පකිස්තානයයි.

1996 දී ශ්‍රී ලංකාව ප්‍රචණ්ඩකාරී සිවිල් යුද්ධයක් මධ්‍යයේ තම රට තුළ ක්‍රිකට් ලෝක කුසලානයක් පැවැත්වීමේ පළමු අවස්ථාව හිමිකරගත්තා. තරගාවලිය ආරම්භ වීමට සතියකට පමණ පෙර කොළඹ දී එල්ටීටීඊ ත්‍රස්තවාදින් විසින් බෝ බෝම්බයක් පිපිරී යාම බරපතල ගැටලුවක් බවට පත්වුණා. ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබූ ඔවුන්ගේ ආරම්භක තරගය ක්‍රීඩා කිරීමෙන් ඉවත්වීමට තීරණය කළා. ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා නිලධාරීන්ගේ නොයෙකුත් ඉල්ලීම් නොසලකා එම රටවල් නොසළකා හැරියා. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සිය සත්කාරක තරඟ සියල්ල අහිමි වීමේ අවදානමක් ඇති විණා. ඉන්දීය නායක මොහොමඩ් අසාරුදීන් සහ ඔහුගේ පකිස්තාන සගයා වන වසීම් අක්‍රම් ඒකාබද්ධ වී ශ්‍රී ලංකාවට ඔවුන්ගේ සහයෝගය පෙන්වමින් සුහඳ තරගයක් පැවැත්වීම සඳහා ඒකාබද්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවනු ලැබුවා. එවකට ඕස්ට්‍රේලියානු ආධිපත්‍යයට හසුව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දැවැන්ත පීඩනය නොතකා, ආසියානු අසල්වැසි ඉන්දියාව සහ පකිස්තානය ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ඉදිරිපත් වීම අතිශය තීරණාත්මකයි.

2009 මාර්තු මාසයේදී, එනම් ඉන් වසර 13කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන්ගත් බස් රථයට ත්‍රස්තවාදීන් විසින් වෙඩි තැබීම හේතුවෙන් ක්‍රීඩකයින් 12 දෙනෙකුට තුවාල ලැබුවත් මෙම සිදුවීම  නොතකමින්, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ඇතිවූ ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) පරාජය කිරීම සඳහා හමුදාමය සහාය ලබා දීමට ප්‍රයෝජනවත් වුණා. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි බටහිර රටවල් තරඟාවලිවලින් ඉවත්ව සිටියදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කළා. ඒ දෙරට අතර පැවති ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා හේතුවෙන්. වඩාත්ම වැදගත් කරුණ වන්නේ ත්‍රස්ත ප්‍රහාර එල්ල විය හැකි බවට කිහිප වතාවක්ම අනතුරු අඟවා තිබියදීත් මෙලෙස සංචාරයේ යෙදීමයි.

මුගාබේගේ අසාර්ථක ජාත්‍යන්තර සබඳතා හේතුවෙන් සිම්බාබ්වේ හි ක්‍රිකට් ක්‍රීඩාව ඇද වැටෙයි

ක්‍රිකට් ක්‍රීඩා කරන තවත් ප්‍රධාන රටක් වන සිම්බාබ්වේ කණ්ඩායම කාලයක් ජාත්‍යන්තර දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත වුණා. නමුත්,  එවකට ජනාධිපති රොබට් මුගාබේගේ ප්‍රතිපත්ති සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා නොසලකා හැරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාව දිනෙන් දින කඩා වැටී විනාශ වී ගියා. 2008 ජුනි මාසයේදී එවකට බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන්, මන්ත්‍රී මණ්ඩලයට පැවසුවේ සිම්බාබ්වේ හි එංගලන්ත සංචාරය අවලංගු කිරීමට අවශ්‍ය බවයි. එලෙස කරන ලෙස වෙනත් රටවලින් ද ඉල්ලා සිටින බව ද ඔහු දැනුම් දුන්නා. දෝෂ සහිත සහ දූෂිත ප්‍රතිඵල සම්බන්ධයෙන් මුගාබේ ද වගකිව යුතු බවට බ්‍රිතාන්‍යය විශ්වාස කිරීම ඊට හේතු වුණා. එය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා අත්හිටුවීමට ද හේතුවක්. මුගාබේ පීඩනය වැළැක්වූ නමුත් ඇන්ඩි ෆ්ලවර් සහ හෙන්රි ඔලොංගා වැනි බොහෝ ක්‍රීඩකයින් කණ්ඩායමට අහිමි වූ බැවින් සිම්බාබාවේ ක්‍රිකට් කණ්ඩායම පසුබෑමට ලක්විණා. මෙය ක්‍රිකට් රාජ්‍යතාන්ත්‍රිකයේ ප්‍රතිලෝමයක් ලෙස තර්ක කළ හැකි නමුත් එය තරඟකාරීත්වයට තුළ දැකිය හැකි යථාර්තයක්.

ක්‍රිකට් න්‍යෂ්ටික යුද්ධය වැළැක්වූවා ද?

න්‍යෂ්ටික බලය සහිත ලොව ප්‍රථම මුස්ලිම් බහුතර රාජ්‍යය වන පකිස්ථානය එහි සදාතනික ප්‍රතිවාදියා වන ඉන්දියාව සමඟ දේශසීමා බෙදා ගන්නේ තවත් න්‍යෂ්ටික බලාගාරයක් සමගිනුයි. බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාව බෙදී වෙන්කිරීමෙන් පසු උත්සන්න වූ ගැටුම් ක්‍රිකට් දක්වා පැතිර ගියා. මේ නිසා ඉන්දියාව සහ පාකිස්තානය  ලෝකයේ වඩාත්ම උද්වේගකර ක්‍රිකට් ක්‍රීඩා එදිරිවාදීන් බවට පත්වී තිබෙනවා. 1947 දී පකිස්තානය ස්වෛරී රාජ්‍යයක් වීමට පෙර පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් ඉන්දීය ධජය යටතේ ක්‍රීඩා කළා. නමුත් සියල්ල වෙනස් වුණේ එක රැයකින්. ඉන්දියාව සහ පකිස්තානය ලෙස රටවල් දෙකකට බෙදා වෙන්කිරීමෙන් පසු ක්‍රීඩකයින්ට ඔවුන්ගේ පෙර සගයන්ට එරෙහිව ක්‍රීඩ කිරීමට සිදුවුණේ රටවල් දෙකක ධජ යටතේයි. කාශ්මීර ගැටුම සහ ඉන්දු-පකිස්තාන යුද්ධ වලින් සිදුවූයේ මාතෘකාව තීව්‍ර කිරීම පමණයි. ක්‍රිකට් ක්‍රීඩා කළ රටවල් දෙක අතර 1962 සිට 1977 දක්වා වසර පහළොවක විරාමයක් තිබුණා. නමුත් දෙරටේම විශාල විදේශගත ජනගහනයක් වර්ධනය වීමත් සමග කැනඩාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි මධ්‍යස්ථ ස්ථානවල තරඟ පැවැත්වීමට හැකි වුණා. මෙම තීව්‍රතාවය ජාතීන් දෙකක් සඳහා පමණක් නොව, කලාපීය අසල්වැසියන් සඳහා ද දැවැන්ත උනන්දුවක් ජනනය කළා.

මේ උද්වේගකර බව වර්තමානය දක්වාම නොනැසී පවතිනවා. 2019 දී, මධ්‍යම විශේෂ පොලිසියේ (CRPF) 40 දෙනෙකුට මරු කැඳවූ පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, හිටපු පාකිස්තාන නායක සහ වත්මන් අගමැති ඉම්රාන් ඛාන්ගේ මූර්තිය එහි සමරු ඵලක අතරින් ඉවත් කිරීමට බ්‍රබෝර්න් ක්‍රීඩාංගණය පිහිටා ඇති මුම්බායි හි ප්‍රසිද්ධ ක්‍රිකට් සමාජය (CCI) තීරණය කළා.

මේවාට ව්යතිරේක ද පවතිනවා. සෝවියට් සංගමය ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමෙන් පසු, ඉන්දියාව සෝවියට් සංගමයේ පීඩනයට ලක්ව සිටියා. එවකට පාකිස්තාන ජනාධිපති සියා-උල්-හක් ජායිපූර්හි පැවති ඉන්දියා – පාකිස්තාන ටෙස්ට් තරඟයකට පැමිණී ම ඉන්දියාව මුහුණ දුන් එම පීඩනය ලිහිල් කිරීමට උපකාරී විණා. 2004 දී, ඉන්දියාව වසර 15 ක විරාමයකින් පසු පකිස්ථානයේ සංචාරය කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දෙරට ම අන්‍යෝන්‍ය වීසා රෙගුලාසි ලිහිල් කළා. තරඟාවලිය නැරඹීම සඳහා ඉන්දීය ක්‍රිකට් ලෝලීන් දහස් ගණනකට දේශසීමා හරහා ගමන් කිරීමට අවස්ථාව සැලසුණා.

ඉන්දියාව සහ පකිස්ථානය අතර මොහාලි හි පැවති 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය, තමන් සමඟ එක්ව නැරඹීමට ඉන්දීය අගමැති මන්මෝහන් සිං පාකිස්තාන අගමැති යූසෆ් රාසා ගිලානිට ආරාධනා කළා. පාකිස්තානය පදනම් කරගත් ත්‍රස්ත කණ්ඩායමක් විසින් සිදු කළේ යැයි කියනු ලබන 2008 මුම්බායි ප්‍රහාරයෙන් පසු දෙරට අතර තිබූ විරසයකය සමනය කිරීමට එය කදිම අවස්ථාවක් ලෙස සැළකෙනවා. මෙම ආරාධනය පිළිගත් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත ප්‍රබල පණිවිඩයක් යවමින් ප්‍රහාරවලින් ඉන්දු-පකිස්තාන සබඳතාවලට බාධාවක් සිදු නොවන බවට ප්‍රකාශ කළා.

ඉන්දු-පකිස්තාන එදිරිවාදිකම් උච්චස්ථානය කරා ළඟා වීමත් ක්‍රිකට් තරගයකදී ඇති උද්වේගකර බවත් ඔවුන් සදාතනිනක තියුණු තරඟ කරුවන් යන්නත් යන කරුණු සියල්ල දකුණු ආසියාතික ක්‍රිකට් ලෝලීන්ට ඉතා හුරුපුරුදුයි. ඉන්දියාව සහ පකිස්තානය අතර න්‍යෂ්ටික ගැටුමක් ඇති නොවීමට එකම හේතුව ක්‍රිකට් නොවිය හැකි නමුත්, එය කලාපීය දැවැන්තයන් දෙදෙනාට ද්විපාර්ශ්වික සබඳතා යළි පිහිටුවීමට නිසැකවම උපකාර වූ එක් සාධකයක් ලෙස හැඳින්වීමට හැකියාව තිබෙනවා. යාර 22 ක්‍රිකට් තණතීරුව ක්‍රීඩාංගණයෙන් ඔබ්බට බලය ක්‍රියාත්මක කරවන අතර එය එලෙසම පැවතිය යුතුයි.

ලේඛකයා – සම්මානලාභී නිෂ්පාදකයෙක් සහ විචාරක පැසසුමට ලක් වූ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි

මෙම ලිපිය https://factum.lk/ වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි.

ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!