ශබ්ද දූෂණ ඇතිකරමින් සවිකර ඇති සියලුම ශබ්දවාහිනී යන්ත්‍ර ඉරිදා (06) මධ්‍යම රාත්‍රිය වනවිට ගලවා දැමිය යුතු බවත් එසේ නොකරන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව කටයුතු කරමින් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත් ගාල්ල මූලස්ථාන පොලිසිය ගිංතොට ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන කිහිපයකට, බෞද්ධ විහාරස්ථානයකට සහ ශබ්ද විකාශන යන්ත්‍ර සවිකරන ලද ත්‍රී රෝද රථ ගාලකට උපදෙස් ලබා දී තිබේ.
පොලිසිය මෙම උපදෙස් ලබා දී ඇත්තේ “ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව” විසින් ගාල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ පාර්ශව කැඳවීමෙන් අනතුරුවය.
ගිංතොට ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන හෝ එම දේවස්ථාන ලෙස අඟවමින් පවත්වාගෙන යන ආගමික මධ්‍යස්ථාන සහ විහාරස්ථානයකින් දෛනිකව ශබ්ද දූෂණය සිදුකරන බවත් ගිංතොට පාලම අසළ ඇති කුඩා බුදුපිළිමයක් අසළ සවිකර ඇති ශබ්ද විකාශනය යන්ත්‍රයකින් ද ශබ්ද දූෂණය සිදුකරන බවටත් එම සංවිධානය පොලිසියට පැමිණිලි කර තිබිණි.
2007 වර්ෂසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් ලබා දී ඇති නඩු තීන්දුවක් සහ 2007 නොවැම්බ්ර් මස 28 වැනි දින පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය අනුවත් බලපත්‍ර නෙමැතිව ශබ්ද විකාශනය යන්ත්‍ර සවිකර භාවිතා කිරීම දණ්ඩනීති සංග්‍රහය අනුව වරදක් බැවින් අදාල උපකරණ අත්අඩංගුවට ගෙන සැකකරුවන් සමඟ අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එම පැමිණිල්ල මගින් පොලිසියෙන් ඉල්ලා තිබිණි.
ඒ අනුව පැමිණිලිකාර පාර්ශවය සහ විත්තිකාර පාර්ශවය කැඳවූ ගාල්ල මූලස්ථාන පොලිසිය එහි පැමිණ සිටි මුස්ලිම් දේවස්ථාන භාරකරුවන්, බෞද්ධ විහාරස්ථානයේ දායක සභාවේ නිලධාරීන් සහ ත්‍රී රෝද රථ ගාලේ සාමාජිකයන්ට කියා සිටියේ මෙම නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍ර වහාම ඉවත්කළ යුතු බවයි. ඉදිරියේ දී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම අවශ්‍ය අවස්ථාවක දී ඒ සඳහා පොලිසියෙන් අවස්ථානුකූලව බලපත්‍රයක් ලබාගන්නා ලෙසත් බලපත්‍ර කොන්දේසි අනුව කටයුතු කරන ලෙසත් පොලිසිය නියෝග කළේය.
වසර ගණනාවක් පැවත ආ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සිදුකරන ප්‍රචාරයන් එකවිට නැවැත්වීමේ දී අනුගාමිකයන්ගේ යම් ගැටලුවක් ඇතිවිය හැකි බැවින් ඔවුන් දැනුම්වත් කිරීම සඳහා දින කිහිපයක් ලබාදෙන ලෙස මුස්ලිම් දේවස්ථාන විසින් ඉල්ලීමක් කළ බැවින්, අද (06) සහ හෙට (07) දෙදින එවැනි දැනුම්ත් කිරීම් සිදුකර හෙට (07) රාත්‍රියෙන් පසු යළි ශබ්ද විකාශනයන් නොකරන ලෙසත් අවශ්‍ය අවස්ථාවන්හි දී බලපත්‍ර ලබාගෙන විකාශය කරන ලෙසත් පොලිසිය විසින් උපදෙස් ලැබිණි.
ගාල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා ගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමර විසින් පැමිණිල්ල විභාග කිරීම සිදුකරනු ලැබූ අතර ඔහුගේ දැනුම්දීම වූයේ බලපත්‍ර ලබාගත්ත ද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සහ පොලිස්පති චක්‍රලේකය අනුව බලපත්‍ර ලබාගන්නා පරිශ්‍රයේ සීමාවන්ගෙන් පිටතට ශබ්දය නොඇසෙන පරිදි ශබ්ද විකාශනය භාවිතා කළ යුතු බවයි. එමෙන් ම ශබ්ද විකාශන යන්ත්‍ර ස්ථිරව සවිකර තැබිය නොහැකි බවත්, ඒ සියල්ල භාවිතා කළ හැකිවන්නේ පොළොවට අංශක 45ක ආනතියක් සිටින සේ බවත් හෙතෙම කියා සිටියේය. බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම ද දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් රටේ නීතියට ගරු කරමින් කටයුතු කරන්න යැයි ද පොලිසියේ උපදෙස විය.


