මිල මුදල් ඇතුළු මහා වස්තු සම්භාරයත්, වතුපිටි, මහා මන්දිර ඇතුළු දේපළ සියල්ල අරුත් සුන් බවත් ජීවිතයට අවශ්‍ය වන්නේ සතුට, සොම්නස සහ ජීවිතය විඳීම බව පසක්කරන මහා මන්දිරයක් කළු ගඟ අසබඩ සුවිසල් වත්තක හුදකලාව තිබේ.
මේ මහා මන්දිරයෙන් අද කුඩා පිරිමි දරුවන්ගේ හඬ වරින් වර උස්ව නැගුන ද මේ මන්දිරය ඉදිකළ මහා ධන කුවේරයා තමන්ට දරුවන් නොමැතිවීම නිසා ම ඒ මහ මැදුර ඇතුළු සියල්ල අතහැර දමා තනි වූ මිනිසකු ලෙස ලොවින් සමුගත්තේය.
1889 නොවැම්බර් මස 12 වැනි දින කොළඹ දී උපත ලැබූ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන මේ මහා මන්දිරයේ හිමිකරුවාය. එවකට මෙරට ඉඩම් හිමි ධනවතකු වූ පවුලිස් ද සිල්වා සහ ඉසබෙලා විජේසිංහ යුවළගේ දරුවන් තිදෙනාගෙන් එක් අයකු වූ ආතර් සහ ඔහුගේ වැඩිමල් සොහොයුරා වූ හෙක්ටර් ද සිල්වා අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේය.
ආතර්ගේ පියා ගාල්ලේ බද්දේගම සිට කොළඹට පැමිණ ස්ව උත්සාහයෙන් ව්‍යාපාර ආරම්භ කරගෙන දියුණු වූ අයෙකි.
නමුත් ඇතැම් කතාන්තරවල කියැවෙන්නේ නානායක්කාර රජවාසල අප්පුහාමිලාගේ පවුලිස් ද සිල්වා නම් පියාගේ පරපුර අතීතයේ මුහුදුබඩ වාසය කළ අය බවයි. යුරෝපීය ජාතීන්ගේ ආක්‍රමණ හමුවේ ඔවුන් දකුණට හා මධ්‍යම කඳුකරයට පලාගොස් ඇති බවත් ආතර්ගේ පියා එලෙස දකුණට පළාගිය සිංහල වංශවත් පරපුරක අයකු බවයි. පසුව ධනවතකු වූ ඔහු ඉඩම් රැසක හිමිකරුවකු වුව ද කොල්ලුපිටියේ නිවසක් තනා එහි තම දරුවන් සමඟ ජීවත් වූයේය.
කළු ගඟ අසබඩ සුවිසල් වත්තක කඳු ගැටයක් මත ඉදිකර ඇති ඒ මහා මන්දිරය අද කතාන්තර රැසක් සඟවාගෙන විරාජමානව ඇත්තේ බොහෝ දෙනකුගේ නැරඹුම් ස්ථානයක් බවට පත්කරමිනි. ඉන්දියාවේ ටජ් මහල් මන්දිරය ආදර කතාවක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූයේ යම් සේ ද ආතර් ද සිල්වා විජේසිං සිරිවර්ධන විසින් කළුතර ඉදිකර ඇති “රිච්මන්ඩ් කාසල්” නමැති මේ මන්දිරය එවැනිම ආදර කතාවක් සඟවාගෙන සිටියි.
කතෝලිකයකු වීමත්, ධනවත් පවුලක පුතකු වීමත් හේතුවෙන් ආතර් එංගලන්තයේ ඉගෙනුමට අවස්ථාව උදාකරගත්තේය. එහි දී බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් පමණක් නොව ඉන්දියාවේ සිට පැමිණි මහාරාජවරුන් ද ඇසුරු කිරීමට සමත් වූ ආතර් අධ්‍යාපනය අවසන් මෙරටට පැමිණි පසු ඉංග්‍රීසි පාලකයෝ ඔහුට මුදලි තනතුරක් ප්‍රදානය කළහ. ආතර් යටතේ තවත් මුදලිවරු 12 දෙනකු මෙන්ම ලස්කිරිඤ්ඤ හමුදාවක් ද සිටි අතර ඔහුට ලැබුණේ පඬිකාර මුදලි නම් වැටුප් හිමිවන තනතුරකි.
වර්තමානයේ පොලිස් අධ්‍යාපන විද්‍යාලය පිහිටා ඇති ස්ථානයේ ඉදිකර තිබූ තේක්ක බංගලාව නම් නිවසක සිටි තරුණ ආතර් විවාහයක් ගැන සිත් යොමුකරන්නට විය.
මේ කාලයේ මෙරට පහත රට සහ උඩරට වශයෙන් වූ බෙදීම වඩාත් ප්‍රභල විය උඩරට රදළ පෙලපතක පුරුකක් වූ සූරියබණ්ඩාර නමැති අද්වකාත්වරයෙක් කළුතර උසාවියේ සේවය කළේය. ආතර්ගේ සිත ඔහුගේ දියණිය කෙරෙහි ඇදී ගොස් තිබිනි. නමුත් රදළයක් වූ සූරියබණ්ඩාර පහතරැටියකු වූ ආතර් ද සිල්වාට තම දියණිය පාවා නෙදෙන බව ආතර් දැන සිටියේය.
මේ අතර ලංකාවේ වංශවතුන්ගේ සංගමයේ සහ ඉන්දියානු කතෝලික කොංග්‍රසයේ සාමාජිකත්වය ලබාගෙන තිබූ අතාාර් පඬිකාර මුදලි එම සංගම් දෙකෙහිම සභාපති පදවියට ද පත්වූයේය. මේ නිසා ම සූරියබණ්ඩාර අද්වකාත්වරයාගේ දියණිය පිළිබඳ යෝජනාව ඔහුට ඉදිරිපත් කිරීමට ආතර් පැකිළුණේ නැත. නමුත් ඒ කිසිවක් මායිම් නොකළ සූරියබණ්ඩාර තම දියණිය ඔහුට පාවා නොදෙන බව මේ විවාහ යෝජනාව ගෙන ගිය ආතර්ගේ හිතවතාට පවසා තිබිණි.
නමුත් ඔහු තම සිත්ගත් තරුණිය ලෙහෙසියෙන් අතහැරීමට කැමති වූයේ නැත.
වරක් ඉන්දියාවට ගිය අවස්ථාවක දී තමන්ගේ හිතවත් මහාරාජාවරයකුගේ නිවසේ නතර වූ ආතර්ට මේ නිවස දුටු මොහොතේ සිට එවැනි නිවසක හිමිකරුවකු වුවහොත් සූරියබණ්ඩාරගේ මාන්නය බිඳ දැමිය හැකි වනු ඇතැයි සිතිණි. මේ නිසාම ඔහු මහාරාජාගෙන් නිවසේ සැළැස්මක් ඉල්ලා සිටිය ද එය සාර්ථක වූයේ නැත. යළි ලංකාවට පැමිණි ඔහු දක්ෂ වඩුවකු කැඳවා මහාරාජාගේ මන්දිරයේ විස්තර පවසා එහි ගොස් පිටතින් මේ මන්දිරය දැක බලාගෙන පැමිණ ඒ හා සමාන මන්දිරයක් තමන්ට ඉදිකර දෙන ලෙස පැවසුවේය.
කළු ගඟ ආසන්නයේ පිහිටි අක්කර 42කින් යුතු පොල්වත්තක ඔහුගේ සිහින මාළිගාව සෑදීම ආරම්භ කෙරිණි. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහොමයක් ගෙන්වූයේ විදේශ රටවලිනි. මන්දිරයට අවශ්‍ය ගඩොල් සහ උළු ගෙන්වා ඇත්තේ ඉන්දියාවෙනි. පිඟන් ගඩොල් සහ නානකාමර උපකරණ සියල්ල එංගලන්තයෙනි. උළුඅහු ජනෙල් පමණක් නොව වහළ ඉදිකිරීමට දැ අවශ්‍යතාව සපුරාගන්නා ලද්දේ ඉතාමත් මිල අධික බුරුම රැංගුන් තේක්කවලින් සහ ඕක් ලීයෙනි.
මේ සියළු අමුද්‍රව්‍ය කොළඹ වරායේ සිට තවත් නැවකින් කළුතරට ගෙනවිත් නැවේ සිට බත්තලක් මගින් කළු ගඟ දිගේ මේ භූමියට බත්තලක් මගින් ගෙන ආ බව පැවසේ.
අක්කර 42ක භූමියේ අක්කරයක් වසා පැතිර ඇති මහා මන්දිරය ඉදිකරන ලද්දේ එහි පිහිටි උසැතිම කොටසේය. සුවිසල් ආලින්දයක්, විසිත්තකාමර, කෑම කාමර ආදී සියල්ලෙන් පරිපූර්ණ වූ මේ ගෘහයේ කාමර 14කි. ඊට අමතරව සේවක සේවිකාවන් සඳහා ද කාමර ඉදිකර ඇත. බිම් මහළේ කාමර 05ක්, කන්තෝරු කාමර 02ක්, පින්තූර කාමරයක් හා නැටුම් ශාලාවක් ඉදිකර ඇත. උඩුමහලේ කාමර 06ක් බැල්කනි කිහිපයක් සහ හිස් අවකාශයක් ද වෙයි. උඩුමහළට නැගීමට විශාල තරප්පු පේලි දෙකකි. එකක් සේවක සේවිකාවන් සඳහාය. මේ කාමර ඉදිකරද්දී ශබ්දය පිටතට සහ ඇතුළතට ගමන්කිරීම වැළැක්වීම සඳහා බිත්ති අඩියකටත් වඩා පළල් කර ඇති අතර මධ්‍යයේ හිස් අවකාශයක් තිබෙන පරිදි ලෑලිවලින් රාමුවක් ද සකසා ඒ වටා බැමි බැඳ ඇත. නිවසේ ඇති සම්පූර්ණ උළුවහු ප්‍රමාණය 99ක් වන අතර ජනේල සංඛ්‍යාව 38කි.
විශාල තරප්පු පේළි, කැටයම් සහිත සුවිසල් කුළුණු, ඉතාලිියෙන් ආනයනය කරන ලද මල් ලියකමින් සැදුණු ජනෙල් වීදුරු මෙන්ම දැවැන්ත දොර ජනෙල් සියල්ල මේ මහා මන්දිරයට අපූරු ගාම්භීරත්වයක් මෙන් ම අලංකාරයක් ද එක්කර තිබේ.
අතීතයේ භෝජනාගාරය භෝජනාගාරය අද දිස්වන අයුරු කැටයම් සහිත තරප්පු නිවසේ දැවමය කණු කැඩයමින් අලංකාර කර ඇති ආකාරය කැටයම් සහිත තරප්පු පෙළක්
මේ මන්දිරයට සුවිසල් මැද මිදුලක් හා දැවැන්ත උද්‍යානයක් ද තිබේ. උද්‍යානයේ පොකුණක් ඇති අතර බිත්තිවලට සවිකර ඇති සිංහ මුහුණුවලින් පොකුණට ජලය ගලා එන අයුරින් සකසා තිබීම සොදුරු දසුනකි. එමෙන්ම කිරිගරුඬ ප්‍රතිමා 12ක් ද ඉදිකර තිබේ.
ආතර් විසින් ඉදිකරන ලද මේ මහා මන්දිරය පිළිබඳ පුවතත් ඔහුගේ ධනය හා බලය පිළිබඳවත් දැනගත් සූරියබණ්ඩාර අද්වකාත්වරයා තම දියණිය ආතර්ට විවාහ කරදීමට කැමැත්ත ප්‍රකාශ කළේය.
ඒ අනුව 1916 ජූලි 22 වැනි දින කළුතර ප්‍රදේශය එකම මංගල සිරියක් ගෙන තිබිණි. තම උපන් නම වෙනස්කරගත් ආතර් නානායක්කාර රජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන ලෙස හැඳින්වෙන්නට වූ අතර ක්ලැරිස් මැටිල්ඩා මෝඩ් සූරියබණ්ඩාර නමැති ඔහුගේ සිත්ගත් තරුණිය හා විවාහ උත්සවය එදිනට යෙදී තිබිණි. මේ සඳහා එංගලන්තයේ ජෝර්ජ රජ පවුලේ නියෝජිතයන් ද, වේල්සයේ ආදිපාදවරයා ද, මවුන්ට්බැටන් සාමිවරයා ඇතුළු ප්‍රභූන් රැසක් සහභාගී වූහ. කොළඹ සිට කළුතර විවාහ මංගල්‍යයට සහභාගී වීම සඳහා අමුත්තන් වෙනුවෙන් විශේෂ දුම්රියක් ද යොදා තිබිණි.
මේ විවාහ උත්සවයට එංගලන්ත රජ පවුල නියේාජනය කරමින් නියෝජිතයන් දෙදෙනකු ද සහභාගී වූ බව පැවසේ. මඟ දෙපස ලස්කිරිඤ්ඤ හමුදා භට පිරිිස්වල උත්තමාචාර මැද සුදු පැහැති අශ්වයන් බැඳි කරත්තයකින් විවාහ යුවළ මන්දිරයට පැමිණෙද්දී මංගල තොරණ 18ක් නිමවා තිබූ බව ද පැවසේ. එම මංගල්‍යයට ආරාධනා ලැබූ ඔහුගේ මිතුරු මහාරාජා විසින් ම මන්දිරය විවෘත කෙරිණි.
පඬිකාර මුදලිවරයා පළමු ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍ය රජයට පවුම් 2500ක මුදලක් ආධාර වශයෙන් ලබාදී ඇති අතර බෙල්ජියට ගිලන් රථයක් ද තෑගි කලේය. යුද්ධය ගැන දේශන පවා පැවැත්වූ ඔහුට බෙල්ජියමේ රජු 1918 දී භෝජන සංග්‍රහයක් ද පවත්වා ඇති අතර ලන්ඩනයට ගොස් බ්‍රිතාන්‍යයේ රජු සහ වේල්ස් කුමාරයා පුද්ගලිකව බැහැ දැකීමට ද අවස්ථාව උදා වී තිබේ.
මහා මංගල උත්සවයකින් අභිනව දිවියක් ඇරඹූ මේ යුවතිපතීන්ට කොතරම් දේපළ තිබුණ ද ඔවුන්ගේ ජීවිතයට සතුටක් හිමිවි තිබුණේ නැත. තම පරපුර ඉදිරියට නෙ යාම සඳහා පින්වත් පුත් රුවනක් අපේක්ෂා කළ ආතර් මුදලිට දාව දරුවකු බිහිකරන්නට ක්ලැරිස්ට හැකිවූයේ නැත. වසර කිහිපයක් ම ගෙවී යද්දී දරුවන් නැති ශොකයෙන් දිවි ගේවූ අතර් තම ආදරණීය බිරිඳට දරුවකු ලැබීමට හේතුවනු ඇතැයි සිතා සුවිසල් මන්දිරයේ ඔවුන්ගේ නිදන කාමරටය පෙනෙන පරිදි ඉතාලියෙන් ගෙන්වූ පිරිමි දරුවන්ගේ පිළිරූ හතක් සවිකළේය. ඒ මධ්‍යයේ දරුවකු නලවන මවකගේ ප්‍රථිමාවක් ද සවිකර තිබේ. මේ දරුවන්ගේ පිළිරූ දකින විට තමන්ට දරුවකු ලැබෙනු ඇතැයි මුදලිවරයාගේ විශ්වාසය වන්නට ඇත.
නමුත් මේ දෙදෙනාගේ කතාව තවත් ශෝකාන්තයකට පෙරැළෙන්නට විය. දෙදෙනා අතර අඩ දඹරවල අඩුවක් නොවන්නට ඇත. ආතර් මුදලිවරයා මන්දිරයෙන් බැහැර වී වැඩි කාලයක් ගත කරද්දී ක්ලැරිස් ලමාතැනී සිරියහන් ගබඩාවේ තනිවන්නට ඇත.
මේ අතර මුදලිවරයාගේ පරිහරණයට ගෙන ආ මෝටර් රථයකට රියදුරකු ද බඳවාගත් අතර පසු කළෙක ඔහු සහ ළමාතැනී අතර ඇසුරක් හටගෙන තිබූ බව කළුතර අවට පදිංචි පැරැන්නන්ගේ මතයයි. නමුත් ඒ ගැන කිසිදු තහවරුවක් නැත.
මේ සියලු හැල හැප්පීම් මධ්‍යයේ ආතර් මුදලි දැඩි තීරණයක් ගෙන තිබේ. 1941 ජූලි 04 වැනි දා මඔහු නොතාරිස් එස්.ජේ.එස්.කදිරගාමර් ඉදිරියේ සිය අවසන් කැමති පත්‍රය ලීවේය. ඒ ගැන ඔහුගේ බිරිඳ දැන සිට නැත. තමන් සතු රිච්මන්ඩ් කාසල් මන්දිරය ඇතුළු දේපල රැසක් ආණ්ඩුවේ මහාභාරකාරවරයාට පැවරූ අතාර් බිරිඳ තවදුරටත් අවිවාකව සිටින්නේ නම් එතෙක් ඇයට මාසිකව රුපියල් 300.00ක මුදලක් ද පොල් ගෙඩි 250ක් ද යැවිය යුතු බවත් සඳහන් කර තිබිණි.
1941 දී රුපියල් 350,000.00 ක මුදලකට ඇස්තමේන්තු කළ රිච්මන්ඩ් කාසල් මන්දිරය සහ එය පිහිටි පොල්වත්ත හා කුඹුරත්, රුපියල් 125,000.00 ට ඇස්තමේන්තු කළ ගම්පහ හේනේගම අක්කර 82ක වපසරියකින් යුතු ඉරහඳයාව නමැති පොල් වත්තත් මේ අවසන් කැමති පත්‍රයේ විශේෂයෙන් සඳහන් කර ඇත. මීට අමතරව ඔහුගේ ආදයම්වලින් කොටසක් ආගමික ආයතනවලට පවරා දී තිබේ.
මේ අවසන් කැමති පත්‍රය ලියූ ආතර් ඒ ගැන තම බිරිඳට කිසිත් නොකියා ඇගේ දෙමාපියන්ගේ නිවසට ඇරලුවේය. ඉන් පසු ඔහු යළි කිසි දිනක තමන්ගේ මන්දිරයට පැමිණියේ නැත.
මහනුවර රැජින හෝටලේ 37 වැනි කාමරය වෙන්කරගත් ඔහු එහි හුදකලාව ජීවත් වූයේය. ඔහුගේ අදහස වූයේ තමන් කවුරුන්දැයි කිසිවෙකුට නොකියා ජීවත්වීම වුව ද වැඩි දිනක් යාමට මත්තෙන් හෝටලයේ නැවතී සිටින්නේ මහා ධානපතියකු වූ ආතර් මුදලි බව හෝටල් සේවකයෝ දැනගත්හ.
වසර හයක කාලයක් රැජින හෝටලයේ කාමරයක තනිවම දිවි ගෙවූ ආතර් මුදලි 1947 ජූලි මස 08 වැනි දා හදිසියේ ම අසනීපවීම හේතුවෙන් මහනුවර සාත්තු නිවාසයකට ඇතුළත් කළ ද ඔහුගේ මරණය වළක්වාගත නොහැකි විය. මරණ පරීක්ෂණයේ දී තීරණය වූයේ මොළයේ ලේ කැටියක් හිරවීමෙන් මරණයට පත්ව ඇති බවයි.
තම ජීවිතයේ අවසන් වසර කිහිපය සියලු දෙනාගෙන්ම ඈත්වී අප්‍රකටව ජීවත් වූ ආතර් මුදලිගේ ප්‍රාණය නිරුද්ධ දේහය කොළඹ පදිංචි ඔහුගේ සොහොයුරියගේ නිවසට රැගෙන එන ලදී. 1941 දී තම දෙමාපියන්ගේ නිවසට රැගෙන ගොස් ඇරලවා පැමිණි දා සිට වසර 06 කාලයක් ඔහු දැකගැනීමට අවස්ථාවක් නොලැබූ බිරිඳ ක්ලැරිස්ට දක්නට ලැබුණේ ඔහුගේ නිසල දේහයයි.
කවදා හෝ තම ලෙයින් උපන් දරුවන්ගේ සිනා හඬින් පිරී යනු ඇතැයි ආතර් මුදලි සිතා සිටි මහා මන්දිරය අදටත් දරුවන්ගේ හඬින් පිරී යනපරිදි සැළසුම් කිරීමට ආතර් මුදලි සමත්වූයේය.
ඒ මහා මන්දිරය මහා භාරකාරවරයාට පවරා දෙද්දී ඔහුගේ කොන්දේසිය වූයේ “මාගේ මේ නිවස දෙමාපියන් අහිමි වූ පිරිමි දරුවන්ගේ ප්‍රයෝජනය උදෙසා පවරන්න” යන්නයි.
අද ඔහුගේ බලාපොරොත්තුව සඵල වී තිබේ.
දෙමාපියන් අහිමි වූ දරුවන්ගේ නවාතැනක් බවට පත්ව ඇති රිච්මන්ඩ් කාසල් මහා මන්දිරය එහි පැවැත්වෙන පෙර පාසල් මෙන්ම භාෂා පුහුණු පාඨමාලා හේතුවෙන් දරු දැරියන් සියල්ලන්ටම විවෘතව ඇත.
ශෝකාන්තයකින් කෙළවර වී ඇති මේ මන්දිරය ගැන වර්තමානයේ පවසන කරුණු හා යම් යම් අවස්ථාවවල නොගැලපීමක් ද තිබේ.
ඉතිහාසයේ සඳහන් වන්නේ ආතර් පඬිකාර මුදලි 1889 දී උපත ලැබූ බවයි. ඔහුගේ පියා 1902 දී මියගොස් ඇති බව ද සඳහන් වේ. ඒ වනවිට ආතර්ගේ වයස අවුරුදු 12ක් විය යුතුය. එංගලන්තයට ගොස් ඉගෙනුම ද හමාර කර මෙරටට පැමිණි තම පුතුට මනාලියන් සෙව්වේ පියා යැයි ද කියයි. නමුත් ආතර් උපන්නේ 1889 දී නම්, පියා මියගියේ 1901 දී නම් එය විය නොහැකි කරුණකි.
එමෙන් ම ආතර් විසින් ක්ලැරිස් දැක ඇය ගැන ප්‍රේමයක් හටගත් නිසා සූරිබණ්ඩාර අද්වකාත්වරයාගෙන් ඇය ගැන විමසූ බවත් ඔහු ඊට මුලින් එරෙහි වූ බවත් මේ කතාන්තරයේ සඳහන් වේ. නමුත් ඔහුගේ කැමැත්ත දිනා ගැනීමට මේ මහා මන්දිරය ඉඳිකළ බව ද කියයි.
විවාහය සිදුකර ඇත්තේ 1910 වර්ෂයේ දී බව ද සඳහන් වේ. එසේනම් ඒ වනවිට ආතර්ගේ වයස අවුරුදු 21ක් පමණි. මේ මහා මන්දිරය නිමවන්නට අවම වශයෙන් වසර කිහියක් ගතවන්නට ඇත. එසේ නම් ඔහු ක්ලැරිස්ට විවාහ යෝජනාව ගෙන ආවේ ලාබාල තරුණයකු ව සිටිය දී ද ?
වර්ෂයන් පිළිබඳ ගැටලුවක් ඉතිරිව ඇතත් ආතර් මුදලිගේ කතාන්තරය පමණක් නොව මේ මහා මන්දිරයේ ඉදිකිරීමේ තාක්ෂණය, ගෘහ නිර්මාණ ශිල්පය හා කලාත්මක බව ගැන කියාපාන්නේ අධිරාජ්‍යවාදී පාලන සමයේ මෙරට සිටි මහා ධනවතුන්ගේ සහ රදළ පරපුරේ ස්වභාවයයි.