spot_img
spot_imgspot_img

මහ බැංකුවෙන් මූල්‍ය සමාගම් කිහිපයකට දඩ නියම කරයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 42,936ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,106ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 140කින් ඉහළ ගිය අතර එය පෙර දිනයේ තිබූ වාර්තාව අභිබවා මෙතෙක් කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින් ඒකක 10,412ක් බවට පත්විය.

අද දිනයේ කොටස් වෙලෙඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ කොමර්ෂල් ලීිසිං සමාගමේ කොටසක මිල රුපියල් 12.00කින් ඉහළ යාමයි. වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,026යි, අගලවත්ත වැවිළි සමාගම රුපියල් මිලියන 786යි, කොමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 754යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 31යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 29යි, අගලවත්ත වැවිළි සමාගම කොටස් මිලියන 25යි ලෙස සටහන් විය.

අද දිනයේ වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර සිංහ පුත්‍ර ෆිනෑන්ස් (P) 20%කින් ද, කොමර්ෂල් ලීසිං 20%කින් ද අමානා ලයිෆ් 17%කින් ප්‍රමුඛ විය.

කොළඹ කොටස් වෙලෙඳ පොළ ඉතිහාසයේ සමාගමක් මෙතෙක් වාර්තා කළ වැඩිම ප්‍රාග්ධනීකරණය වාර්තා කරමින් කොමර්ෂල් ලීසිං සමාගම සමස්ත කොටස් වටිනාකම රුපියල් බිලියන 452 ඉක්මවීය. එහි දී කොමර්ෂල් ලීසිං සමාගම විසින් අද දිනය තුළ පමණක් තම සමාගමේ වත්කම් රුපියල් බිලියන 76කින් ඉහළ නංවා ගෙන ඇත.

විශේෂත්වය වන්නේ කොමර්ෂල් ලීසිං සමාගම එල්ඕඑල්සී සමාගමේ අනු සමාගමක් වන අතර එල්ඕඑල්සී මව් සමාගමේ වත්කම්වල අගය රුපියල් බිලියන 295ක් ලෙස සටහන් වීමයි. මෙලෙස කොමර්ෂල් ලීසිං සමාගමේ කොටස් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ කොටස් වෙළෙඳ පොළ තුළ පවතින කොමර්ෂල් ලීසිං සමාමේ සමස්ත කොටස් ප්‍රමාණය එම සමාගමේ මුළු කොටස් එකතුවෙන් 0.45% වැනි අවම අගයක් වීමයි. ඒ අනුව දිනෙන් දින සුළු කොටස් ප්‍රමාණයක් ඉහළ යාමේ දී සමාගමේ මුළු වත්කම් අසීමිත ලෙස ඉහළයාමක් සිදුවෙයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ සමාගම් අතර මහජනතාවට වැඩිම කොටස් ප්‍රමාණයක් නිකුත් කර ඇති සමාගම වන්නේ කොමර්ෂල් බැංකුව වන අතර එහි මහජන කොටස් හිමිකම 99.8% කි.

දිනය අවසානයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර දෙවැනි තැනට එක්ස්පෝ ලංකා සමාගම රුපියිල් බිලියන 398ක වත්කම් වාර්තා කරගනිමින් ද තුන්වැනි තැනට එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 295ක් වාර්තා කරමින් පත්ව තිබිණි.

අද දිනයේ සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර කලම්බු පොර්ට් ලෑන්ඩ් සමාගම කොටස් මිලියන දෙකක් රුපියල් 15.50 බැගින් ද, ඇක්සස් ඉන්ජිනියරින් සමාගම කොටස් මිලියන 15.975ක් රුපියල් 25.00 බැගින් ද හුවමාරු විය.

විදේශීය ආ‍යෝජකයන් විසින් රුපියල් මිලියන 54ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 75ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනයේ දී පමණක් විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 21ක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර ටෙක්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 12ක් ද, කොමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 03ක් ද, අගලවත්ත වැවිලි සමාගම රුපියල් මිලියන 01ක් ද කොටස් විකුණූ සමාගම් අතර රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 10ක් ද, ඕවර්සීස් රියලිටි සමාගම රුපියල් මිලියන 06යි, සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් සමාගම රුපියල් මිලියන 06යි ලෙස ද ප්‍රමුඛ විය.

ද්‍රවශීලීතාව අඩු සමාගම්වල කොටස් මිල ඉහළයාම හේතුවෙන් නිසි කොටස් වටිනාකමක් නොමැති සමාගම්වල කොටස් මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම කොටස් වෙළෙඳ පොළ වර්ධනය කෙරෙහි දැඩි බාධාවක් වී ඇති අතර එය ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටීමට ද බලපා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2021 වර්ෂයේ දෙවැනි කාර්තුවේ දී 2006 අංක 06 දරණ මූදල් ගනුදෙනු පනතේ වගන්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් සමාගමට රුපියල් මිලියනයක දඩ මුදලක් ද, අයිඩියල් ෆිනෑන්ස් සමාගමට රුපියල් ලක්ෂ 05ක දඩ මුදලක් ද සෙලාන් බැංකුවට රුපියල් ලක්ෂ 05ක දඩ මුදලක් ද පනවා තිබේ.

රෝයල් සෙරමික් සමාගම එක් කොටසක් සඳහා රුපියල් 1.50ක ලාභාංශයක් ද ජෝන් කීල්ස් සමාගම එක් කෙටසක් සඳහා ශත 50ක ලාභාංශයක් ද ප්‍රකාශයට පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!