බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පාලනය කිරීමේ (COP26) ග්ලාස්ගෝ සමුළුවේදී හරිතාගාර වායුවක් වන මීතේන් විමෝචනය අඩු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය එකඟ වී තිබේ.
යුරෝපා කොමිසමේ ප්‍රධානී උරුසුලා වොන් ඩර් ලෙයෙන් සහ ඇමරිකානු ජනපති ජෝ බයිඩන් අද (02) සමුළුවේදී මේ සම්බන්දව නිවේදනය කර තිබේ.
මෙම ගෝලීය මීතේන් ප්‍රතිඥාවේ අරමුණ වන්නේ 2020 පවතින මට්ටමට සාපේක්ෂව මීතේන් විමෝචනය 30% කින් සීමා කිරීමයි.
මීතේන් වඩාත් ප්‍රබල හරිතාගාර වායූන්ගෙන් එකක් වන අතර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විමෝචනය වන මෙම වායුව, වත්මන් ගෝලීය උණුසුමෙන් තුනෙන් එකකට වගකිව යුතු යැයි විද්‍යාඥයෝ පවසති.
ගෝලීය උණුසුම මැඩලීමේ ප්‍රයත්නවල ප්‍රධාන අවධානය යොමු වන්නේ බලශක්ති උත්පාදනය සහ වනාන්තර එළි පෙහෙළි කිරීම වැනි මානව ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් (CO2) වායුව සම්බන්දයෙනි.
නමුත් දේශගුණික විපර්යාසවලට මුහුණදීමේදී මීතේන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට මේ වනවිට සිදුව තිබේ. වායුගෝලයේ වැඩි CO2 ප්‍රමාණයක් පවතින අතර එය දිගු කාලයක් පැවතියද, තනි මීතේන් අණු තනි CO2 අණු වලට වඩා වායුගෝලීය උණුසුම කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරයි.
මීතේන් වලින් වැඩි ප්‍රමාණයක් එනම් 40%ක් පමණ තෙත්බිම් වැනි ස්වාභාවික මූලාශ්‍ර වලින් විමෝචනය වෙයි. නමුත් සත්ත්ව පාලනය සහ සහල් නිශ්පාදනය වැනි කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සිට කුණු ගොඩවල් දක්වා වූ මානව ක්‍රියාකාරකම් මගින් මේ වනවිට මීතේන් විමෝචනයේ වැඩි කොටසක් අත්පත් කරගෙන ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
2008 වර්ෂයේ සිට මීතේන් විමෝචනයේ විශාල වැඩිවීමක් සිදුවී ඇති අතර 2019 වර්ෂය වනවිට වායුගෝයේ මීතේන් ප්‍රතිශතය වාර්තාගත මට්ටමකට ලඟා වී ඇත.
ග්ලාස්ගෝ දේශගුණ සමුළුව ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 12 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.