rata.lk වෙබ් අඩවියට තොරතුරු දීම හේතුවෙන්, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරීවරයාගේ වැඩ තහනම් කිරීම වාරණය කරමින් ගාල්ල දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න අද (01) අතුරු ඉන්ජෙන්ෂන් තහනම් නියෝගයක් නිකුත් කළේය.
දිසා විනිසුරුවරයා මේ නියෝගය නිකුත් කළේ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිදහස් සේවක සංගමයේ සභාපපතිවරයා වශයෙන් 2013 වර්ෂයේ සිට කටයුතු කරමින් සිටින කාර්මික නිලධාරී පල්ලික් කොණ්ඩගේ අජන්ත විසින් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, එහි සාමාන්‍යාධිකාරී පී.පී.වික්‍රමසිංහ අතුළු විත්තිකරුවන් 07 දෙනකුට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සම සැළකිල්ලට ගනිමිනි.
“දකුණු පළාතේ කාපට් නිෂ්පාදනාගාරය දිරායයි. විකුණා දැමීමටත් සැළැස්මක් හදලා” යන ශීර්ෂය යටතේ 2021 පෙබරවාරි 15 වැනි දා rata.lk වෙබ් අඩවියේ පළ කරන ලද පුවතකට අදාල විස්තර ලබාදුන් බව පවසමින් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිනිය විසින් ඔහුගේ වැඩ තහනම් කර තිබිණි.
පෙත්සම්කරු නීතිඥයන් මගින් අධිකරණයට දැනුම් දී තිබුණේ වෘත්තීය සංමයේ සභාපතිවරයා ලෙස වෘත්තීය සංගමය වෙත පැවරී ඇති වගකීම ඉටුකිරීම රාජකාරී නිල තත්වයෙන් කරන ලද බවයි. එසේ ක්‍රියාකිරීමේදී සාමාන්‍යාධාකිරීවරිය විසින් එය වැරදි ලෙස වටහාගනිමින් වඩ තහනම්කිරීමේ නියෝගයක් අත්තනෝමතිකව සහ අනීතිකව නිකුත් කර ඇති බවත් එම පෙත්සම මගින් පෙන්වා දී ඇත. එමෙන් ම ඇය විසින් රටේ නීතියෙන් වෘත්තීය සංගම්වල කටයුතු පවත්වාගෙන යාමට ලබා දී ඇති නිදහස බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බැවින් තමන් 2021 මාර්තු මස 12 වැනි දින සිට නැවත සේවයේ පිහිටුවන ලෙසත් ඉල්ලා තිබේ.
මෙම පෙත්සම පදනම් විරහිත බවත් එය ඉවත දමන ලෙසත් විත්තිකාර පාර්ශවය විසින් ගාල්ල දිසා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටි අතර එම සියලු කරුණු සැළකිල්ලට ගනිමින් කාර්මික නිලධාරී පල්ලික් කොණ්ඩගේ අජන්තගේ වැඩ තහනම් කිරීමට එරෙහිව අතුරු ඉන්ජෙක්ෂන් තහනම් නියෝගයක් නිකුත් කෙරිණි.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විභාගය 2022 පෙබරවාරි 02 වැනි දිනට කල් තැබූ දිසා විනිසුරුවරයා විත්තිකාර පාර්ශවයට පිළිතුරු ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ නේත්‍රාරාණි කුලසේකරගේ උපදෙස් පරිදි නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ පෙනී සිටියේය.