-5.9 C
New York

කොරෝනා එන්නත්කරණයේ ප්‍රමාදය නිසා මරණ වැඩිවෙලා. එන්නත් නිසා මරණ අඩුවූ බව සනාථ වෙයි

Published:

ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත්කරණය කඩිනමින් සිදුවූවානම් කොරෝනා මරණ සංඛ්‍යාව වඩාත් අඩු අගයක පවත්වාගැනීමට හැකියාව තිබූ බව කොරෝනා මරණ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දී ඇති දත්ත අනුව පෙනී යයි.

කොරෝනා වැළඳීම හේතුවෙන් මෙරට දී මියගිය පුද්ගලයන් සියලු දෙනා අතරින් එන්නත්කරණය සම්පූර්ණ වූ අය මියගොස් ඇත්තේ 7.8% ප්‍රමාණයකි පමණි. එන්නත් මාත්‍රා එකක් පමණක් ලැබී දෙවැනි එන්නත් මාත්‍රාව ලබාගැනීමට පෙර මියගිය සංඛ්‍යාව මෙරට සමස්ත කොරොනා මරණ සංඛයාවෙන් 19.62% කි.

මේ බව තහවුරු වී ඇත්තේ මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින් 2021 සැප්තැම්බර් මස 12 වැනි දින තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි තොරතුරුවලට එම අමාත්‍යාංශය මගින් ලබා දී ඇත් දත්ත අනුවය. එම දත්ත ලේඛනයේ සැප්තැම්බර් 30 දක්වා මෙරට සිදුවූ කොරෝනා මරණ සම්බන්ධ තොරතුරු දැක්වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි වෙත ලැබී ඇති තොරතුරු අනුව කොරෝනා ආරම්භයේ සිට සැපැත්ම්බර් 30 වැනි දා දක්වා මෙරට සිදුව ඇති කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,906කි. එලෙස මියගිය පුද්ගලයන් අතරින් 1007 දෙනකු කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් හෙවත් එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයන්ය. එය ප්‍රතිශතයක් ලෙස මියගිය අයගෙන් 7.8%කි.

කොරෝනා මර්ධන එන්නතකින් එක් මාත්‍රාවක් ලබාගත් පසු දෙවැනි මාත්‍රාව ලබාගැනීමට පෙර මියගිය සංඛ්‍යාව 2,533කි. එය 19.62%ක ප්‍රතිශතයකි. මෙම සංඛ්‍යාලේඛන අනුව පැහැදිලි වන්නේ එන්නත් මාත්‍රා දෙකම හෝ අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන සිටි 3,540 දෙනකු මියගොස් ඇති බවයි. එය සමස්ත මරණ සංඛ්‍යාවෙන් 27.42%ක ප්‍රතිශතයකි.

ඒ අනුව කොරෝනා ආසාදනයෙන් මෙරට දී මියගිය පුද්ගලයන්ගෙන් 9,366 දෙනකු ම මියගොස් ඇත්තේ කොරෝනා මර්ධනය සඳහා ලබාදුන් කිසිදු එන්නතක් නොලැබීමෙනි. එය 72.57% ප්‍රතිශතයකි. එන්නත්වලින් එක් මාත්‍රාවක් සහ එන්නත් නොලැබීමෙන් මියගිය සංඛ්‍යාව 11,899කි. එය ප්‍රතිශතයක් ලෙස 82.2% කි

එන්නත්කරණයෙන් පසුව කොවිඩ් අසාදිතව මියගිය 3,540 දෙනා අතරින් ඔවුන් සදහා ලබාදුන් එන්නත් වර්ගය කුමක්ද යන්න නිශ්චිත තොරතුරු ඇත්තේ 1,165 දෙනෙකුගේ පමණි. එක් එන්නත් මාත්‍රාවක් හෝ ලැබීමෙන් පසු මියගිය අනෙක් 2,345 දෙනා සඳහා ලබා දී ඇති එන්නත් කවරවර්ගයේ ද යන්න සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් තොරතුරුවල දක්නට නැත.

කෙසේ වෙතත් මෙම සංඛ්‍යාලේඛන අනුව පැහැදිලි වන්නේ මෙරට කොරෝනා එන්නත්කරණය කඩිනමින් සිදුවූවානම් මෙතෙක් වාර්තා වූ කොරෝනා මරණවලින් මරණ වැඩි සංඛ්‍යාවක් වළක්වාගතත හැකිව තිබූ බවයි.

Related articles

Recent articles

spot_img