-5.9 C
New York

අගමැතිගේ සම්බන්ධීකරණ හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග පවා නොතකා ජනතාව පීඩාවට පත්කරති. පන්සලෙන් අසභ්‍ය වචන දෝරෙ ගලයි

Published:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි කියාගන්නා අග්‍රහැර කාශ්‍යප නමැති භික්ෂුවක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පවා නොතකමින් ප්‍රදේශවාසීන්ට හිරිහැරයක් වන ආකාරයෙන් සවස 6.30 සිට පසු දා උදෑසන 8.30 පමණ වනතුරු ආගමික ශබ්ද දූෂණයක් සිදුකරන බවට කොට්ටාව පොලිසියට ගම්වාසීන් විසින් පැමිණිලි කර තිබේ.

මේ පැමිණිල්ල කර ඇත්තේ අද (24) අළුයම 3.30ට පමණය.

පැමිණිල්ල සිදුකිරීමට පෙර එම පැමිණිලිකරු විසින් විහාරස්ථානයේ ස්ථාවර දුරකථනයට ඇමතුමක් ලබාගෙන ඇති අතර එයට පිළිතුරු දුන් දායක සභාවේ සභාපතියැයි කියාගන්නා පුද්ගලයකු ඇමතුම දුන් පුද්ගලයාට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් තර්ජනය කර තිබේ.

(මෙම හඬ පටිගත කර අප සතුව ඇත. එය අන්තර්ජාලයට එක්කර ඇතත් ප්‍රතිපත්තියක් ලෙස අප එය මේ වෙබ් අඩවියේ පළ කරන්නේ නැත. නමුත් අවශ්‍ය අයකුට එය ශ්‍රවණය කිරීම සඳහා එහි සබැඳිය පහතින් සඳහන් කර ඇත. එය බාගත කර ඇසීමට ඔබට හැකියාව ඇත.)

https://sndup.net/9k3b?fbclid=IwAR1iZxwLndOPqsSpsq7w3Umf8erMw9j8y6jn1RIQ4nfPJr7SbmIziS45N_E

විහාරස්ථානයෙන් මේ සම්බන්ධව සාධාරණයක් ඉටු නොවන බැවින් ඔහු අළුයම 3.30ට පමණ කොට්ටාව පොලිසියට ඒ පිළිබඳ පැමිණිලි කර ඇත. රාත්‍රී සංචාරයේ යෙදෙන පොලිස් රථයට ඒ පිළිබඳ දැනුම් දෙන බවත් සොයා බලා සුදුසු පියවරක් ගන්නා බවත් ඒ අවස්ථාවේ දී පොලිසියෙන් දැනුම් දී තිබේ.

පොලිසියට කරන ලද පැමිණිල්ලට අදාල හඬ පටිගත කිරීම පහතින්

හිරු උදාවනතුරුම මේ ශබ්දයේ කිසිදු අඩුවක් නොවූ බැවින් පැමිණිල්ල කළ පුද්ගලයා ම නැවත පොලිසියෙන් තමන් කළ පැමිණිල්ලට ගනු ලැබූ පියවර ගැන විමසා ඇති අතර පොලිසිය එහි දී පවසා ඇත්තේ විහාරස්ථානයේ කඨින පිංකම පැවැත්වෙන බවයි.

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය පිළිබඳ පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයක්, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් සහ තවත් අධිකරණ නියෝග කිහිපයක් ම තිබිය දී පොලිසිය නීතිය නිසිපරිදි ක්‍රියාත්මක කර නැත.

පොලිසියෙන් ඒ පිළිබඳ විමසූ හඬ පටිගත කිරීම පහතින්.

මේ සම්බන්ධයෙන් rata.lk අපි කොට්ටාව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.

“පන්සල්වලින් කරන ශබ්ද දූෂණයනම් හරිම වදයක්. මේ පැමිණිල්ල ගැන මම දැන සිටියේ නෑ. ඒ විදියට ස්පීකර් දාන්න බැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තියෙනවා. පොලිස්පතිතුමාගේ චක්‍රලේඛයකුත් තිබෙනවා. මා මේ මොහොතේ ම වහාම ක්‍රියාත්මක වෙලා ඒ ගැන අවශ්‍ය පියවර ගන්නම්. මේ විහාරස්ථානයට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට බලපත්‍රයක් දීලා නැහැ.”

ස්ථානාධිපතිවරයා අප සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී සිටිය දී ම තවත් නිලධාරියකුගෙන් මේ ගැන විමසනු අපට ඇසිණි. එම නිලධාරියා කියා සිටියේ අද (24) විහාරස්ථානයේ කඨින පිංකම පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර ඇති බවයි.

“කඨින පිංකම තියෙනවාලු. නමුත් කඨින පිංකමටවත් බලපත්‍රයක් අරන් නැහැ. බලපත්‍රයක් ගත්තත් ඔය විදියට එළිවෙනතුරු පිරිත් විකාශය කරන්න බැහැ. මම මේ ගැන වහාම අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගන්නවා.” ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කිවේය.

මාලපල්ල සුදර්ශනාරාමයේ විහාරාධිපති අග්‍රහැර කාශ්‍යප හිමියන් ඇමතීමට අපි කටයුතු කළෙමු. ඒ හිමියන්ගේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කර තිබිණි.

විහාරස්ථානයේ දුරකථනයට ඇමතූ විට පිළිතුරු දුන් ‍අයකු කීවේ ලොකු හාමදුරුවෝ සැතපෙන බවයි.

ශ්‍රී ලංකාවේ නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් රාත්‍රිය පුරාම අවට ජනතාවට හිරිහැර කරමින් ඔවුන්ගේ නින්දට බාධාවන අයුරින් ආගමික ශබ්දයක් මහ හඩින් ප්‍රචාරය කරන මේ හිමියෝ හිරු උදාවූ පසු තම ජංගම දුරකථනයත් ක්‍රියාවිරහිත කර හොඳින් සැතපෙති.

මේ හිමියන් බුදු දහමේ අඩංගු කරුණු නොදන්නවා විය යුතුය. පාසල්වල උගන්වන 10 ශ්‍රේණියේ බුද්ධ ධර්මය පොතේ ඇති දැනුමවත් මේ හිමියන්ට ඇත්නම් මෙවැනි ශබ්ද විකාශන පවත්වාගෙන යන්නේ නැත.

මේ විහාරස්ථානයට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන තුරු අපි බලා සිටින්නෙමු.

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධ නීතිය පහත සඳහන් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2007 නොවැම්බර් මස 09 වැනි දා ලබා දී ඇති තීන්දුවක දැක්වෙන්නේ මේ ආකාරයෙනි.

“කිසිම ආගමක් අනුන්ගේ සාමයට බාධා කිරීමක් හෝ දේශනා කිරීමක් කරන්නේ නැත. ආගමේ නාමයෙන් ශිෂ්ඨ සම්පන්න සමාජයකට බාධා කරන ක්‍රියාකාරකම් හිමිදිරියේ හෝ දිවා කාලයේ දී හෝ නිදා සිටින විට දී හෝ දරුවන් හෝ වෙනත් අයගේ කටයුතු කරගෙගන යාමට බාධාවක් විය නොහැක. අසල්වැසි ජනතාවට ඔවුන්ගේ ස්වභාවික අයිතිය භුක්ති විඳීමට අයිතියක් ඇත. පූජනීය යැයි කියන සූත්‍ර සජ්ජායනාවට සහ පරිසරයේ නිශ්චලතාවයට බාධා කිරීම, එවැනි ගායනයකට හෝ දේශනයකට හෝ ස්ජ්ජායනාවකට සම්බන්ධ නොවන පුද්ගලයන්ගේ කන් මත එය බලෙන් පැටවීම ආගම්වල උගන්වා නැත.”‍

එලෙස ලබා දී ඇති නියෝගය අනුව එවකට අපරාධ හා මෙහෙයුම් නියේාජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න විසින් 2007 නොවැම්බර් මස 28 දිනැතිව සියලුම දිසාභාර ‍නියෝජ්‍ය පොලිස්තිවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත්කර එම නඩු තීන්දුව ප්‍රකාරව 2007-11-22 දිනැති පොලිස්පති චක්‍රලේඛ 2031/2007 හා අපරාධ චක්‍රලේඛ 16/07 අනුව කටයුතු කරන ලෙස දන්වා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 (04) වගන්තියේ

  • ඇම්ප්ලිෆයර් භාවිතා කිරීමෙන් ශබ්දය විමෝචනය කිරීම සම්බන්ධ දැක්වෙයි.

ශබ්ද විකාශන යන්ත්‍ර හෝ වෙනත් උඵකරණ හෝ මහජනයාට හෝ එහි සිටින ජනතාවට කරදර ඇතිකරන්නේ නම් (අවට වාසය කරන හෝ දේපළ හිමි සාමාන්‍ය අයට) දණ්ඩ නීති සංග්‍රයේ 261 වගන්තිය අනුව එය පොදු කරදරයක් ලෙස සැළකේ.

ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් බලපත්‍ර නිකුත් කිරීම පොලිසියට පැවරී ඇති රාජකාරියකි. ඒ සඳහා මුදල් අයකිරීමක් ද සිදුකළ යුතුය.

විශේෂ ආගමික කටයුතු සහ අනෙකුත් විශේෂ සිදුවීම් සඳහා වුව ද ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ හැකි වන්නේ අවට සිටින පුද්ගලයන්ගේ කැමැත්ත විමසීමෙන් පසු අවට ඇති ඉඩම් පරිශ්‍රයන් පිළිබඳ වාර්තාවක් ළඟම ඇති මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අවසර ගැනීමෙන් පමණි.

මාලපල්ල සුදර්ශනාරාම විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා කිසිදු බලපත්‍රයක් ලබාගෙන නැතැයි පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි. එවැනි අවස්ථාවක දී පොලිසිය නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ පහත සඳහන් පරිදිය.

පොලිස් ආඥා පනතේ 80 වැනි වගන්තිය යටතේ වහාම එම නීති විරෝධී සහ පීඩාකාරී ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ අනෙකුත් උඵකරණ අත්අඩංගුවට ගෙන පොලිස් ආඥා පනතේ 80 (4) වගන්තිය අනුව ඒවා අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.

මේ සියල්ලට ම අමතරව 2013 සැප්තැම්බර් මාසයේ දී පොලිස් මූලස්ථානය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධ කරුණු 13කින් සමන්විත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ 2007 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සෑම ශබ්ද විකාශන යන්ත්‍රයක් සඳහාම වෙන වෙනම බලපත්‍ර ලබාගත යුතු බවයි.

එම උපදෙස් අනුව ශබ්ද විකාශන බලපත්‍රයක් නිකුත් කරනු ලබන යම් පරිශ්‍රයක් තිබේනම් එහි සීමාවෙන් පිටතට ශබ්දය විස්තාරණය නොවිය යුතුය.

ශබ්ද විකාශන යන්ත්‍ර ස්ථිරව සවිකීරීමට බලපත්‍ර නිකුත් කරන්නේ නැත. නමුත් මේ ශබ්ද විකාශන යන්ත්‍ර ස්ථිරව සවිකර තිබේ. මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශයන්ට අනුව ශබ්දයක් ඩෙසිබල් 70 නොඉක්මවිය යුතුය.

තාවකාලික බලපත්‍රයක් නිකුත් කිරීමේ දී ද එය නිකුත් කරන්නේ උදෑසන 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයකට පමණි. නමුත් මේ විහාරස්ථානයේ ශබ්ද විකාශනය ආරම්භ වන්නේ අළුයම 4.30ට බව එහි විහාරාධිපිත හිමයෝ අප සමඟ පැවසූහ. එමෙන් ම පොලිස්පති උපදෙස් අනුව සියලුම ශබ්ද විකාශන යන්ත්‍ර අදාල බලපත්‍රය ගත් පරිශ්‍රය දෙසට හරවා සවිකර තිබිය යුතු ය

මීට අමතරව පොලිසියට සිහි කැඳවිය යුතු වැදගත් කරුණු කිහිපයක් ද අපි සඳහන් කරන්නෙමු.

2017 ජනවාරි 25 වැනි දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී උඩුවේ ධම්මාලෝක හිමි වැඩ සිටින ඇලන්මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර මහජනතාවට පීඩාවක් බවට තීන්දුවක් දී ඇත.

එමෙන් ම ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ නිශාන්ත පීරිස් 2018 ජනාවරි 17 වැනි දින 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 වැනි වගන්තිය යටතේ ඉදිරිපත් කරනු ලබන ඉල්ලීමක් සම්බන්ධයෙන් හබරාදුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කරනු ලබන පැමිණිල්ලකට අනුව නඩු අංක 85293 – 2018 තීන්දුව ශබ්ද විකාශන යන්ත්‍රය භාවිතය වළක්වමින් නිකුත් කර ඇත.

1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත අනුව එහි 32 වැනි වගන්තිය අනුව 1996 අංක 01 දරණ ජාතික පාරිසරික (ඝෝෂා පාලන) නියෝග මෙයට අමතර වශයෙන් ක්‍රියාත්මක කළ යුතුය.

අග්‍රහැර කාශ්‍යප හිමි

Related articles

Recent articles

spot_img