කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයකුට කළු දිලීර රෝගය හෙවත් මියුකෝමයිකෝසිස් වැළඳී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.
මෙලෙස කළු දිලීර රෝගය ද ආසාදනය වී මියගොස් ඇත්තේ ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය සැප්තැම්බර් මස 26 වැනි දින මිය ගියේය.
මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය 27 වැනි දින සිදුකර ඇත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි විසිනි. ඔහුගේ පෙනහළු නිරීක්ෂණය කිරිමේ දී කළු දිලීර රෝගය වැළඳී ඇතැයි ඇතිවූ සැකයක් හේතුවෙන් එහි කොටස් කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයට යවා ඇත. එහි වාර්තාව අද (22) ලැබී ඇති අතර ඉන් තහවුරු වී ඇත්තේ ඔහු කොරෝනා සමඟ කළු දිලීර රෝගය ද ආසාදනය වී ඇති බවයි.
කළු දිලීර රෝගය ශ්‍රී ලංකාවේ දක්නට ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීරවේදී දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී විශේෂඥ දිලීරවේදී වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර පවසයි.
ඇය පවසන්නේ කළු දිලීර රෝගය හෙවත් මියුකෝමයිකෝසිස් රෝගය ඇතිවීමට අවශ්‍ය සියලු පරිසර සාධක නිවර්තන රටක් වූ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන අතර මෙරට පසෙහි එම දිලීරය ජීවත්වන බවයි. එමෙන්ම 2019 වර්ෂයේ දී කළු දිලීර රෝගය වැළඳුණු පුද්ගලයන් 42ක් මෙරටින් හමුවී ඇති බවත් 2020 වර්ෂයේ දී එවැනි රෝගීන් 24ක් හා 2021 මේ දක්වා එවැනි රෝගීන් 30ක් පමණ හමුවී ඇති බවත් ඇය කීවාය.
ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.
“මේ රෝගය ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ආසාදන තත්ත්වයක්. මේ වර්ෂයේ දී පවා එම ආසාදනය වැළඳුණු 30කට ආසන්න පිරිසක් හමුවී තිබෙනවා. දිලීර ආසාදන සහිත සියලුම රෝගීන්ගේ සාම්පල පරීක්ෂා කරන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේදී දෙපාර්තමේන්තුවෙන් නිසා අප සතුව ඒ රෝගය පිළිබඳ සියලුම දත්ත තිබෙනවා. ඒ නිසා පැහැදිලියි මියුකෝමයිකෝසිස් නැතිනම් කළු දිලීර රෝගය ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකුගෙන් ම වාර්තා වුණා. දිව ඉදිමෙනවා කියා ලොකු ප්‍රචාරයක් යාම නිසා ගොඩක් අය මේ රෝගය ගැන විවිද මත ප්‍රකාශ කළා. කලාතුරකින් කොරෝනා ආසාදනය වූ අයකුටත් මේ රෝගය ආසාදනය විය හැකියි. නමුත් රෝග දෙක අතර පැහැදිලි සම්බන්ධයක් ඇතැයි කියන්න බැහැ.”
කළු දිලීර රෝගය වැළඳුණු කොරෝනා ආසාදිතයෙක් ගාල්ලේ දී මියගිහින්
