ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් නොතකා ජනතාවට පීඩාකාරී අයුරින් කටයුතු කිරිම අනුමත කරන පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත විජේරත්න බණ්ඩාර “පිරිත් ශබ්දයට පෙර මුස්ලිම් පල්ලියේ ශබ්දය නවත්වන්න යැයි” අද (16) ජාතිවාදය අවුස්සන ප්‍රකාශයක් මාධ්‍යයට සිදුකළේය.
ඔහු පවසන්නේ තමන් නීතිය හොඳින් දන්නා නීතිඥයකු බවයි. ප්‍රාදේශීය ලේකම්වරයා මේ බව තර්ජනාත්මකව අප සමඟ කියා සිටියේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළ ලබ්බල ග්‍රාම නිලධාරීවරියගේ කාර්යාලය පිහිටි ප්‍රජා ශාලවේ ජනාතවාට පීඩාවන ආකාරයෙන් නීති විරෝධී ලෙස සෑම දිනකම අළුයම 5.00 සිට 6.00 දක්වාත්, සවස 6.00 සිට 7.00 දක්වාත් පිරිත් දේශනයක් විකාශය කිරීම සම්බන්ධයෙන් විමසීමේ දී ය.
ශ්‍රී ලංකාවේ නිතිය අනුව ශබ්ද විකාශනය කිරීමටනම් ඒ සඳහා බලපත්‍රයක් ලබාගත යුතුය. බලපත්‍රයක් ලබාදිය හැක්කේ විශේෂම කරුණකට පමණක් වන අතර ඒ විකාශය කරන සෑම දිනක් සඳහාම වෙන වෙනම බලපත්‍රය ලබාගත යුතු වන්නේ ළඟම ඇති මහේස්ත්‍රාත් අධිකරණයේ ද අනුමැතිය ඇතිවය. එසේ නැතිනම් කිසිදු ස්ථානයක ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කිරීමට අවසරයක් නැත.
එමෙන්ම ශබ්ද විකාශන බලපත්‍රයක් ලබාගත්ත ද එය ක්‍රියාත්මක කිරීමට අවසර ඇත්තේ උදෑසන 6.00න් පසුව වන අතර අළුයම 5.00 සිට 6.00 දක්වා කිසිදු ආකාරයකින් එවැනි ශබ්ද විකාශන යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමට අවසරයක් නැත.
මේ සම්බන්ධයෙන් අප පහළ ලබ්බල ග්‍රාම නිලධාරිනී ලක්ෂිකා රණතුංගගෙන් විමසූ විට තම කාර්යාලය පිහිටි ප්‍රජා ශාලාවේ රැස්වන මරණාධාර සමිතියකින් පිරිත් විකාශනයක් කරන බවත් එය දෛනිකව දැනට වසරක පමණ කාලයක සිට සිදුකරන බවත් ඇය පිළිගත්තාය.
නමුත් එවැනි දෙයකට නීතිමය අවසරයක් නැතැයි තමන් නොදන්නා බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ගැන තමන් දන්නේ නැතැයි ද ඇය කීවාය. ග්‍රාම නිලධාරීවරයා යනු ගමේ සිටින රාජ්‍ය නිලධාරියාය. ඇය නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ. එමෙන් ම ශබ්ද විකාශන යන්ත්‍රයකට බලපත්‍ර ලබා ගත යුතු බව තමන් නොදන්නවා යැයි කීම ද පුදුමයට කරුණකි.
ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය
“මට නම් ඔය ගැන පැමණිලි කිසිවක් ලැබිලා නැහැ. මම ඒ ගැන දන්නේ නැහැ. මට හැකිනම් නීතිමය තොරතුරු එවන්න.”
ඒ අනුව අපි ඇයට නීතිමය තොරතුරු යැවූවෙමු.
මේ සම්බන්ධයෙන් පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත විජේරත්න බණ්ඩාරගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.
“ගමේ පිරිත් දාන්නේ ගමේ මිනිසුන්ට ඕන නිසා. පිරිත් ටිකක් දැම්මාම මොකද වෙන්නේ. ඔයාලා ඉස්සෙල්ලා පල්ලියේ ඒවා ගලවන්න. බෞද්ධයෝ නේද ? පිරිත් දාන එක ගලවන්න කතා කරන්නේ. මගේ ග්‍රාම නිලධාරීට චෝදනා කරන්න එපා.”
මේ සම්බන්ධයෙන් ඇති වූ සංවාදය පහත දැක්වෙයි.
rata.lk – ග්‍රාම නිලධාරී මේක දානවා කියලා අපි කියන්නේ නෑ. නමුත් ග්‍රාම නිලධාරී කාර්යාලය තියෙන පරිශ්‍රයේ තමයි මේ ශබ්දය නිකුත්වෙන්නේ. ඇය මේ බව දන්නවා.
ප්‍රාදේශීය ලේකම් – ඉතින් ඔයා මගේ ග්‍රාම නිලධාරිනියට චෝදනා කරන්න එපා. එයා නෙවෙයි නේ දාන්නේ. පිරිත් ටිකක් දාන්නේ ගමේ මිනිස්සුන්ට ඕන නිසා. කවුරුවත් මට ඒ ගැන පැමිණිලි කරලා නෑ. පිරිත් හැමෝම අහනවා
rata.lk – කවුරුවත් පැමිණිලි කරන්නේ නැත්තේ ඒකට විරුද්ධ වෙන්න බැරි නිසා. නමුත් පොඩි දරුවන්ට. ඉගෙන ගන්න ළමයින්ට, වැඩිහිටියන්ට මේක පීඩාවක්. ඔබතුමා මේ සම්බන්ධ නීතිය දන්නවානේ.
ප්‍රාදේශීය ලේකම් – ඔයා මට නීතිය කියන්න අවශ්‍ය නෑ. මම නීතිඥයෙක්. මම නීතිය දන්නවා. ඒ වුණාට මේ දාන්නේ පිරිත්
rata.lk – ඔබ තුමා නීතිඥයෙන් සහ රාජ්‍ය සේවා නිලධාරියෙක් හැටියට ඔය විදියටනම් ජනතාවට පීඩාකාරී දේවල් ගැන කතා කරන්නේ ඔබතුමා ඔය තනතුරට සුදුසුද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා.
ප්‍රාදේශීය ලේකම් – ඔයාට ඕන දෙයක් කරගන්න. මගේ ගෙදරට පල්ලියේ ශබ්දය ඇහෙනවා. ඒවා ගැන කවුරුවත් කතාකරන්නේ නෑ. පිරිත් ටිකක් දැම්මාම තමයි ප්‍රශ්නේ
rata.lk – පල්ලියේ ශබ්දයෙන් ඔබට පීඩාවක්නම් නීතිඥයෙක් වූ ඔබතුමා ඒ ගැන පැමිණිලි කරන්න පුළුවන්නේ. ඔබතුමා පල්ලියේ ශබ්දය පීඩාවක් කියලා අනිත් අයට පිරිත් පීඩාකාරී ලෙස දැමීම නැවැරදිද ? මේ නීති විරෝධී වැඩේ සිදුවෙන්නේ ග්‍රාම නිලධාරීවරියකගේ කාර්යාලයේ. වෙන තැනක නෙවෙයි.
ප්‍රාදේශීය ලේකම් – ඔයාලා බුද්ධාගමට විරුද්ධව කරන වැඩලට අපිව පටලවන්න එපා.
නීතිඥයකු වන ප්‍රාදේශීය ලේකම්වරයා නීතිය දැන දැනම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට, අනිකුත් අධිකරණවලින් දී ඇති නියෝගවලට පිටින් යයි. ඔහු ඒ නීතිවිරෝධී ක්‍රියාව අනුමත කරයි. එසේනම් ඔහු කරන්නේ අධිකරණයට අපහාසයකි.
ප්‍රාදේශීය ලේකම්වරයාට අප අමතා සුළු වේලාවකට පසු ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කළණ ඩිල්ෂාන් අප ඇමතුවේය.
ඔහු බොහොම සාවදානව ප්‍රශ්නය විමසා මෙය පීඩා පනත යටතට වැටෙන බවත් එ් අනුව පැමණිල්ලක් ලෙස සැළකීමටනම් පුද්ගලයන් පස් දෙනකු ඉදිරිපත් පත්විය යුතු බවත් කියා සිටියේය. එබැවින් මේ සඳහා ක්‍රියාමාර් ගත නොහැකි බවත් ඒ ශබ්ද විකාශන යන්ත්‍ර ඉවත් කිරීමට හේතුවක් නැති බවත් ඔහු කීවේය.
ඔහු සඳහන් කරන්නේ මහජන සෞඛ්‍යයට අදාලවන 1862 අංක 15 දරණ පීඩන ක්‍රියා ආඥා පනතයි. ඔහු ඒ පනත ඉදිරියට දමන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් අනුව ද යන්න අප දන්නේ නැත. නමුත් එම පනත මේ සිද්ධියට අදාල වන්නේ නැත. එවැනි පනත් ඉදිරියට දාන්නේ ඔවන් සැබෑ නීතියට පිටින් යාමේ බලාපොරොත්තුවෙනි.
මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීට “ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව” දැනටමත් පියවර ගෙන ඇත. අද (16) සවස පිරිත් විකාශය ආරම්භ වූ අවස්ථාවේ දී 119 ට අමතා ඒ සම්බන්ධ පැමිණිල්ලක් ගොනුකර ඇත. හෙට දිනයේ දී ශබ්ද විකාශන යන්ත්‍ර ඉවත්කිරීමට අදාල පරිශ්‍රයේ ග්‍රාම නිලධාරිනිය කටයුතු නොකරන්නේ නම් ඉන් පසු ග්‍රාම නිලධාරිනියට, ප්‍රාදේශීය ලේකම්ට සහ එකමුත ශ්‍රම ශක්ති මරණාධාර සමිතියට එරෙහිව එන්තරවාසි යැවීමට කටයුතු කරන බව ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුවේ නීතිඥවරු කියති. ඒ සම්බන්ධයෙන් ද නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් පරිශයේ කාර්යාලයක් පවත්වාගෙන යන ග්‍රාම නිලධාරිනිය එම පරිශ්‍රයේ රාජ්‍ය ප්‍රධානියාවන ප්‍රාදේශීය ලේකම්වරයා සහ මරණධාර සමිතියේ නිලධාරීමණ්ඩලය වගඋත්තරකරුවන් කරමින් ළඟම ඇති අධිකරණයේ සිවිල් නඩුවක් පවරන බවත් එහිි දී ප්‍රාදේශීය ලේකම්වරයා නීතිය දැන දැනම අධිකරණයට අපහාස කර ඇති බවට කරුණු දක්වන බවත් එම එකමුතුවේ නීතිඥවරන් කියයි.
ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ අප සාකච්ඡා කිරීමෙන් පසු ග්‍රාම නිලධාරිනිය නැවත අප අමතා කියා සිටියේ ගමේ ජනතාවගේ අවශ්‍යතාවයට මෙලෙස පිරිත් විකාශය කරන බවයි. ඊට විරුද්ධ වූ අය කවුරුන්දැයි ද ඇය විමසා සිටියාය.
එකමුතු ශ්‍රම ශක්ති මරණාධාර සමිතියේ සභාපති සමන්ත උබයසිරි අපට ඇමතුමක් ගෙන මෙසේ කීවේය.
“අපි මේ වැඩේ පටන්ගත්තේ කොරෝනා උවදුර නිසා. පිරිත් ඇසීම හොඳයි කියලා. ගමේ අයගේ ඉල්ලීමට. මේක කාටවත් ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැනේ. කවුරුවත් ඒකට විරුද්ධ නැහැ. කවුද ඔයාලට මේ ගැන කිව්වේ.”
ඔහු රටේ නීතිය ගැන දැන සිටියේ නැත. ශබ්ද විකාශන යන්ත්‍රවලට බලපත්‍රයක් ද නැත. බපත්‍රයක් ඇතිව හෝ ශබ්දය විකාශය කළ හැකි සීමාවට අමතරව අළුයම 5.00ට පිරිත් විකාශය කිරීම වරදක් බව ද ඔහු දන්නේ නැත. නමුත් ඔහු මෙසේ කීවේය.
“දැන් අපේ ගෙදරට පල්ලියේ ශබ්දය ඇහෙනවා. ඒක නවත්වන්න කවුරුවත් නෑ. පිරිත් දැම්ම ඒක නවත්වන්න නම් අය එනවා.”
පල්ලියේ ශබ්දය ඔහුට පීඩාකාරීනම් ඊට ගත හැකි ක්‍රියාමාර්ග අපි ඔහුට අවබෝධ කර දුන්නෙමු. අළුයම නිදා සිටින පුද්ගලයන්ට බාධ වන ආකාරයට, දරුවන්ගේ අධ්‍යයන කටයුතුවලට බාධාවන ආකාරයෙන් ක්‍රියාකිරීම වරදක් නොවේදැයි විමසූ විට ඔහුට ඊට සෘජු පිළිතුරක් තිබුණේ නැත.
“ගමේ අයට ඕන නැත්නම් අපි මේක නවත්වන්නම්” ඔහු අවසානයේ කීවේය.
නමුත් එය වචනයකට පමණක් සීමා විය යුතු නැත. එය හෙට දිනයේ සිට ක්‍රියාත්මක නොවන්නේ නම් “ශබ්ද දූෂණයට එරෙහි එකමුතුව” මෙම සිදුවීම අධිකරණයට ගෙන යන බව පවසයි.
ශබ්ද දූෂණට බලපාන නීතිය කරුණු පහත සඳහන් කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2007 නොවැම්බර් මස 09 වැනි දා ලබා දී ඇති තීන්දුවක දැක්වෙන්නේ මේ ආකාරයෙනි.
“කිසිම ආගමක් අනුන්ගේ සාමයට බාධා කිරීමක් හෝ දේශනා කිරීමක් කරන්නේ නැත. ආගමේ නාමයෙන් ශිෂ්ඨ සම්පන්න සමාජයකට බාධා කරන ක්‍රියාකාරකම් හිමිදිරියේ හෝ දිවා කාලයේ දී හෝ නිදා සිටින විට දී හෝ දරුවන් හෝ වෙනත් අයගේ කටයුතු කරගෙගන යාමට බාධාවක් විය නොහැක. අසල්වැසි ජනතාවට ඔවුන්ගේ ස්වභාවික අයිතිය භුක්ති විඳීමට අයිතියක් ඇත. පූජනීය යැයි කියන සූත්‍ර සජ්ජායනාවට සහ පරිසරයේ නිශ්චලතාවයට බාධා කිරීම, එවැනි ගායනයකට හෝ දේශනයකට හෝ ස්ජ්ජායනාවකට සම්බන්ධ නොවන පුද්ගලයන්ගේ කන් මත එය බලෙන් පැටවීම ආගම්වල උගන්වා නැත.”
එලෙස ලබා දී ඇති නියෝගය අනුව එවකට අපරාධ හා මෙහෙයුම් නියේාජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න විසින් 2007 නොවැම්බර් මස 28 දිනැතිව සියලුම දිසාභාර නියෝජ්‍ය පොලිස්තිවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත්කර එම නඩු තීන්දුව ප්‍රකාරව 2007-11-22 දිනැති පොලිස්පති චක්‍රලේඛ 2031/2007 හා අපරාධ චක්‍රලේඛ 16/07 අනුව කටයුතු කරන ලෙස දන්වා තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 (04) වගන්තියේ
- ඇම්ප්ලිෆයර් භාවිතා කිරීමෙන් ශබ්දය විමෝචනය කිරීම සම්බන්ධ දැක්වෙයි.
ශබ්ද විකාශන යන්ත්‍ර හෝ වෙනත් උපකරණ හෝ මහජනයාට හෝ එහි සිටින ජනතාවට කරදර ඇතිකරන්නේ නම් (අවට වාසය කරන හෝ දේපළ හිමි සාමාන්‍ය අයට) දණ්ඩ නීති සංග්‍රයේ 261 වගන්තිය අනුව එය පොදු කරදරයක් ලෙස සැළකේ.
ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් බලපත්‍ර නිකුත් කිරීම පොලිසියට පැවරී ඇති රාජකාරියකි. ඒ සඳහා මුදල් අයකිරීමක් ද සිදුකළ යුතුය.
විශේෂ ආගමික කටයුතු සහ අනෙකුත් විශේෂ සිදුවීම් සඳහා වුව ද ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ හැකි වන්නේ අවට සිටින පුද්ගලයන්ගේ කැමැත්ත විමසීමෙන් පසු අවට ඇති ඉඩම් පරිශ්‍රයන් පිළිබඳ වාර්තාවක් ළඟම ඇති මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අවසර ගැනීමෙන් පමණි.
ශබ්ද විකාශන බලපත්‍රයක් නැතිව මෙම විකාශන කටයුතු කළ යුතුව ඇත්තේ මේ ආකාරයටය.
පොලිස් ආඥා පනතේ 80 වැනි වගන්තිය යටතේ වහාම එම නීති විරෝධී සහ පීඩාකාරී ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ අනෙකුත් උපකරණ අත්අඩංගුවට ගෙන පොලිස් ආඥා පනතේ 80 (4) වගන්තිය අනුව ඒවා අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.
මේ සියල්ලට ම අමතරව 2013 සැප්තැම්බර් මාසයේ දී පොලිස් මූලස්ථානය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධ කරුණු 13කින් සමන්විත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ 2007 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සෑම ශබ්ද විකාශන යන්ත්‍රයක් සඳහාම වෙන වෙනම බලපත්‍ර ලබාගත යුතු බවයි.
එම උපදෙස් අනුව ශබ්ද විකාශන බලපත්‍රයක් නිකුත් කරනු ලබන යම් පරිශ්‍රයක් තිබේනම් එහි සීමාවෙන් පිටතට ශබ්දය විස්තාරණය නොවිය යුතුය.
ශබ්ද විකාශන යන්ත්‍ර ස්ථිරව සවිකීරීමට බලපත්‍ර නිකුත් කරන්නේ නැත. නමුත් මේ ශබ්ද විකාශන යන්ත්‍ර ස්ථිරව සවිකර තිබේ. මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශයන්ට අනුව ශබ්දයක් ඩෙසිබල් 70 නොඉක්මවිය යුතුය.
තාවකාලික බලපත්‍රයක් නිකුත් කිරීමේ දී ද එය නිකුත් කරන්නේ උදෑසන 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයකට පමණි. නමුත් මේ විහාරස්ථානයේ ශබ්ද විකාශනය ආරම්භ වන්නේ අළුයම 4.30ට බව එහි විහාරාධිපිත හිමයෝ අප සමඟ පැවසූහ. එමෙන් ම පොලිස්පති උපදෙස් අනුව සියලුම ශබ්ද විකාශන යන්ත්‍ර අදාල බලපත්‍රය ගත් පරිශ්‍රය දෙසට හරවා සවිකර තිබිය යුතු ය
මීට අමතරව තවත් අධිිකරණ නියෝග කිහිපයක් ශබ්ද විකාශන යන්ත්‍රවලට එරෙහිව ලබා දී ඇත.
2017 ජනවාරි 25 වැනි දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී උඩුවේ ධම්මාලෝක හිමි වැඩ සිටින ඇලන්මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර මහජනතාවට පීඩාවක් බවට තීන්දුවක් දී ඇත.
එමෙන් ම ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ නිශාන්ත පීරිස් 2018 ජනාවරි 17 වැනි දින 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 වැනි වගන්තිය යටතේ ඉදිරිපත් කරනු ලබන ඉල්ලීමක් සම්බන්ධයෙන් හබරාදුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කරනු ලබන පැමිණිල්ලකට අනුව නඩු අංක 85293 – 2018 තීන්දුව ශබ්ද විකාශන යන්ත්‍රය භාවිතය වළක්වමින් නිකුත් කර ඇත.
1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත අනුව එහි 32 වැනි වගන්තිය අනුව 1996 අංක 01 දරණ ජාතික පාරිසරික (ඝෝෂා පාලන) නියෝග මෙයට අමතර වශයෙන් ක්‍රියාත්මක කළ යුතුය.
පිරිත් අහන්න ඕනෑ අයට තම තමන්ගේ ගෙවල් වල රේඩියෝවෙන්, මොබයිල් ෆෝන් එකෙන් ඇසිය හැකිය. විශේෂයක් නොමැතිව සියලුම උත්සව, ආගමික කටයුතුවලට ශබ්ද විකාශනයට විරුද්ධ විය යුතුය.
ඇත්තට ම මුස්ලිම් පල්ලියේ දවසට කී පාරක් ආගම කියවනවා ද? ඒකට මේ නීතිය අදාල නැද්ද
උබට පේන්නෙ පිරිත් දාන එක විතරයි ද … ඇයි මුස්ලිම් පල්ලි වලත් ශබ්ද දූෂණය වෙන්නේ ඒවාට නඩු දාපන් කො…
මේ රිපෝටර් ඩොලර් වලට වැඩ කරන එකෙක්. මූට පැමිණිල්ලක් නැතුව පිරිත් වලට විතරක් ශබ්ද දූෂණය පේන්නත් පල්ලියෙ ශබ්ද දූෂණය නොපෙනෙන්නත් හේතුව පැහැදිලිව අපිට පේනව. කාලකණ්නි.