-5.9 C
New York

තෙල් මිල ඉහළයාමේ කසුකුසුව කොටස් වෙළෙඳ හානිකර ලෙස බලපායි

Published:

කොළඹ කොටස් වෙළෙද පොළ අද (13) දිනයේ ගනුදෙනු 26,980ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,388ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය අද දිනය තුළ පමණක් එ්කක 142කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ එය ඒකක 9,497ක් බවට පත්විය. අද දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 531යි,   එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 428යි, හැටන් නැෂනල් බැංකුව 335ක් ලෙස ද, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට සමාගම කොටස් මිලියන 51ක් ද, එස්එන්බී ලීසිං ඡන්ද බලය රහිත කොටස් මිලියන 22ක් ද, ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල්ඩ් සමාගම කොටස් මිලියන 06ක ද වශයෙන් මූලික විය.

අද දිනයේ වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල්ඩ් සමාගම 25% ද, ටාජ් ලංකා හෝටලය 21%කින් ද, බ්ලූ ඩයමන්ඩ් සමාගම 14%කින් ද, කැපී පෙණිනි.

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් 150,000ක් රුපියල් 188.50 බැගින් ද, ‍ෆ්‍රී ඒකර් ෆාම් සමාගමේ කොටස් 100,000ක් රුපියල් 210.00 බැගින් ද, කොමර්ෂල් බැංකුව කොටස් 1,860,000ක් රුපියල් 85.00 බැගින් ද හැටන් නැෂනල් බැංකුව කොටස් 1,545,000ක් රුපියල් 149.00 බැගින් ද , වටවල වැවිළි සමාගම කොටස් 2,696,000ක් රුපියල් 57.00 බැගින් ද හුවමාරු විය.

අද දිනයේ ද කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 367ක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම ද, රුපියල් බිලියන 280ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද, රුපියල් බිලියන 197ක් වාර්තා කළ කමර්ෂල් ලීසිං සමාගම තුන්වැනි ස්ථානයට ද පත්විය.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 42ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 23ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනය තුළ පමණක් ශුද්ධ ලෙස රුපියල් මිලියන 19ක මුදලක් විදේශීය ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබේ.

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර සම්පත් බැංකුව රුපියල් මිලියන 16යි, ෆ්‍රී ඒකර් ෆාම් රුපියල් මිලියන 11යි, බලංගොඩ වැවිළි සමාගම රුපියල් මිලියන 03ක් ලෙස ද, විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 9.2යි, කන්වීනියන්ස් ෆුඩ් සමාගම රුපියල් මිලියන 04ක් සහ සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් සමාගම රුපියල් මිලියන 3.7ක් ලෙස කැපී පෙණිනි.

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල දී සමාගම්වල කොටස් මිල පහළ යාම කෙරෙහි සාධක කිහිපයක් බලපා තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ස්ථාවර තැන්පතු සඳහා ලබාදෙන පොළී අනුපාතිකයන් ඉහළ දැමීම,  ඩීසල් සහ පෙට්‍රල් මිල ගණන් ඉතා ඉක්මණින් ඉහළ යා හැකි බවට පවතින අනාවැකි මේ අතර ප්‍රධාන වෙයි.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img