තමන් සහ රජය කෙරෙහි ජනතාව අතර අප්‍රසාදයක් තිබෙන බව තමන් පිළිගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (10) අනුරාධපුරයේ සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති යුද හමුදාවේ 72 වැනි සැමරුම් උත්සව දී කීවේය.
වසර දෙකක් කොරෝනා සමඟ සටන් කිරීමට සිදුවීම හේතුවෙන් යම් පසුබෑමක් සිදුවූ බවත් නව ජවයකින් රට ඉදිරියට ගෙන යාමට තමා ජනතාවට පොරොන්දු වන බවත් ඔහු එහි දී වැඩිදුරටත් කියා සිටියේය.
රට වසා තැබීමෙන් රටේ ආර්ථික බිඳ වැටුණ ද එය පවවසමින් නිදහසට කරුණු දැක්වීමට තමන් සූදානම් නැතැයි ද ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහි දී මෙසේද කීවේය.
පළමු වතාවට දේශපාලනඥයකු ලෙස නොසිට රටේ සේනාධිනායකයා බවටත්, ජනාධිපතිවරයා බවටත් පත් වෙන්නට හැකිවීම ගැන මම ආඩම්බර වෙනවා. එහෙම කරන්න පුළුවන් වුණේ, මම හමුදාවේ නිලධාරියෙක් හැටියටත් ආරක්ෂක ලේකම්වරයා ලෙසත් මගේ යුතුකම් ඉටුකළ නිසා ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසයෙන්.
අපි මුහුණ දුන් කොවිඩ් වසංගතය පාලනයට හමුදාව කළ කැපවීම ගැන. සෞඛ්‍ය සේවය සහ අනෙකුත් අය සමග විශේෂයෙන් නිරෝධායන කටයුතුවලදී ඒ වගේම එන්නත ලබාදීමේ දී ඔබ කළ සේවය ඉතාමත් විශිෂ්ටයි.
කොවිඩ් වසංගතය පාලනයට එන්නත ලබාදීමේ දී අපි ලෝකයේ ඉහළ තැනක සිටින රටක් බවට පත් වෙන්නට පුළුවන් වුණේ මේ ආකාරයෙන් කළ කැපවීම නිසා. ඒ වෙනුවෙන් මගේ ස්තූතියි සෑම දෙනාටම පුද කරනවා.
මම ප්‍රතිපත්තියක් ලෙස ජාතික ආරක්ෂාව තහවුරු කරන්න, අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. ඊට අවශ්‍ය සුදුසු නිලධාරීන් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් හෝ වේවා හමුදාපතිවරුන් වශයෙන් හෝ වේවා බුද්ධි නිලධාරීන් වශයෙන් හෝ සුදුසුම නිලධාරීන් මම ඒ ස්ථානවලට පත් කරලා තියෙනවා.
ජනතාව මා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගත්තේ විශාල බලාපොරොත්තු ඇතිව. එදා සිට පසුගිය අවුරුදු දෙක තුළ ලෝක ඉතිහාසයේ කවදාවත් මුහුණ දුන්නේ නැති තත්ත්වයකට අපට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි පසුගිය අවුරුදු දෙකම සටන් කළේ කොවිඩ් වසංගතය පාලනය කර ගන්නට රට වසා තැබීම්, විවිධ පාලන, මේවා නිසා අපේ ආර්ථිකය විශාල පසුබෑමකට පත් වුණා. මම නිදහසට කරුණු කියන්නේ නැහැ. නමුත්, මේ තත්ත්වය යටතේ ජනතාව වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ජනතාව මා කෙරෙහි, රජය කෙරෙහි ඔවුන් බලාපොරොත්තු වුණු ආකාරයට වැඩ වුණේ නැහැ කියන එක ගැන ඔවුන්ගේ අප්‍රසාදයක් තියෙනවා. මම ඒක පිළිගන්නවා. මම විතරක් නොවෙයි සියලූ මැති ඇමතිවරු ඒක පිළිගන්න ඕනෑ. නමුත් අපි කොවිඞ් වසංගත තත්ත්වය පාලනය කරලා, නව සාමාන්‍ය තත්ත්වයක් යටතේ මේ රට විවෘත කරලා, නව ජවයකින් මේ රට ඉදිරියට ගෙන යන්න, මම ජනතාව වෙනුවෙන් පොරොන්දු වෙනවා. සියලූ දෙනාම එක්ව එකට කටයුතු කරන්න ඕනෑ.
මා පොරොන්දු වූ පරිදි එක රටක් එක නිතියක් ගේනවා. රුවන්වැලි සෑය වදින්න පඩිපෙළ නගිද්දී හමුවූ හාමුදුරුනම්ක ඒ සම්බන්ධයෙන් බලා සිටින බව කිවා.