-5.9 C
New York

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඒකක 10,000 සීමාවට ක්‍රමයෙන් ළඟාවෙයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 28,519ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,046ක් බවට පත්විය.

අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7.8කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා කළ වැඩිම අගය වන ඒකක 9,678ක් වාර්තා කරන ලදී.

දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 461යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 337යි, ටෝකියෝ සිමෙන්ති (ඡන්ද බලය රහිිත) සමාගම රුපියල් මිලියන 280ක් ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 43යි, ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝලට් සමාගම කොටස් මිලියන 31යි, අමානා බැංකුව කොටස් මිලියන 18යි ලෙස ප්‍රමුඛ විය.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර එස්එන්බී ලීසිං (ඡන්ද බලය රහිත) කොටස් මිල 33%කින් ද ලාෆ් ගෑස් සමාගම 13%කින් ද, බේරුවල රිසෝට් සමාගම 13%කින් ද වශයෙන් කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස අද දිනයේ දී ද එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 376ක් වාර්තා කරමින් පළමු ස්ථානයේ රැඳී සිටි අතර රුපියල් බිලියන 289ක වත්කම් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයේ ද රුපියල් බිලියන 201 ක වත්කම් වාර්තා කළ ජෝන් කීල්ස් සමාගම තෙවැනි ස්ථානයට ද පත්විය.

සංවෘත කවය තුළ කොටස් රෝයල් සෙරමික් සමාගමේ කොටස් මිලියන 4.7ක් රුපියල් 47.50 බැගින් ද හේලීස් සමාගමේ කොටස් 250,000ක් රුපියල් 101.00 බැගින් ද හුවමාරු විය.

විදේශීය ආ‍යෝජකයන් විසින් අද දිනයේ රුපියල් මිලියන 16ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 44ක කොටස් විකුණා දැමිණි.

ඒ අුනව විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර ඇස්ට්හොට් ප්‍රොපටීස් සමාගම ‍රුපියල් මිලියන 4.7යි, ඩීඑෆ්සීසී සමාගම රුපියල් මිලියන 2.5යි, එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 2.4යි ලෙස ද කොටස් විකුණූ සමාගම් අතර ටෝකියෝ සිමෙන්ට් සමාගම රුපියල් මිලියන 9.8යි, ප්‍රීමා සමාගම රුපියල් මිලියන 7.6යි, ඩයලොග් සමාගම රුපියල් මිලියන 4.5ක් ලෙස ප්‍රධාන විය.

රජය විසින් අත්‍යාවශ්‍ය භාණ්ඩවලට පනවා තිබූ පාලන මිල ඉවත්කිරීම හේතුවෙන් කිරිපිටි, ගෑස්, සිමෙන්ති සමාගම්වල කොටස් මිල සීඝ්‍ර ලෙස ඉහළ යන ලදී. අපනයන භාණ්ඩ සහ සේවා සපයන සමාගම්වල දෙවැනි කාර්තුවේ විගණන වාර්තා මෙම මාසය තුළ ලැබීමට නියමිත අතර එම වාර්තාව සමඟ ගොළඹ කොටස් වෙළෙඳ පොළ ඒකක 10,000 සීමාව ඉක්මවනු ඇතැයි අයෝජකයෝ විශ්වාසය පළ කරති.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img