spot_img
spot_imgspot_img

GMOA පාදෙණියගේ බලය බිඳෙයි. අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට අධිකරණය නියෝග කරයි

පුවත්

විදෙස්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කල් ඉකුත් වූ විධායක කමිටුවේ බලය අහෝසි කරමින්, එම සංගමය සඳහා නව විධායක කමිටුවක් පත්කිරීම සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කර අවශ්‍ය කටයුතු සිදුකරන්න යැයි මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක අද (08) නියෝග කළේය.

විනිසුරුවරයා මෙම නියෝගය කරන ලද්දේ වෛද්‍ය චමල් සංජීව විසින් ගොනුකරන ලද පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවය.

මේ අනුව වසර 10කට ආසන්න කාලයක් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු කණ්ඩායමක් විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලය අල්ලාගෙන සිටි අතර පසුගිය ජුනි මස 26 වැනි දා ඔවුන්ගේ නිල කාලය අවසන් විය. නිල කාලය අවසන් වී තිබිය දී විවිධ හේතු දක්වමින් නිල වරණය කල්දැමීම හේතුවෙන් ‍වෛද්‍ය චමල් සංජීව විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.

එම පෙත්සම විභාගයට ගත් දිසා විනිසුරුවරයා, නිලවරණය සඳහා නැවත නාම යෝජනා කැඳවනලෙසත්, නිලවරණයට අදාල කටයුතු සඳහා හැර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලිපි ශීර්ෂ හා නිල නාම භාවිතා නොකරන ලෙස ජූලි 16 වැනි දා වාරණ නියෝගයක් ද නිකුත් කර තිබිණි.  එලෙස නියෝගයක් ලබාදී තිබිය දී පවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිලවරණයට අදාල කටයුතු සිදුකිරීම පැහැර හැර ඇතැයි ද වාරණයට පටහැණිව කටයුතු කර ඇතැයි ද පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය.

මේ අතර කොළඹ දිසා අධිකරණයෙන් ලැබුණු අතුරු තහනම් නියෝගයක් අනුව තවදුරටත් බලයේ රැඳී සිටීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කල් ඉකුත් වූ විධායක කමිටුව කටයුතු කර තිබිණි.

පෙත්සම අද (08) දිනයේ දී සළකා බැලූ දිසා විනිසුරුවරයා, පෙත්සම්කරු වූ වෛද්‍ය චමල් සංජීවට නියෝගයක් ලබාදෙමින් කියා සිටියේ පුවපත්පත් දැන්වීමක් ප්‍රසිද්ධ කරමින් සාමාජික සාමාජිකාවන් දැනුම්වත් කර රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ ව්‍යවස්ථාවට අනුව ඝන පූර්ණය වූ සාමාජිකයන් 100කට වැඩි පිරිසක් රැස්කර යෝජනා ස්ථිරත්වයෙන් සංගමය සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කර ඒ මගින් තාවකාලික නිලධාරී මණ්ලයක් පත්කරගන්නා ලෙසයි. ඉන් අනතුරුව නාමයෝජනා කැඳවා විනිවදභාවයකින් යුතුව නිලවරණය පවත්වන ලෙස ද අධිකරණය විසින් උපදෙස් ලබා දී තිබේ.

එම අධිකරණ නියෝගය අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කල් ඉකුත් වූ විධායක කමිටුව වූ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ප්‍රමුඛ කණ්ඩායමට එහි බලය සෘජුවම අහිිමිවෙයි.

වෛද්‍ය චමල් සංජීව වෙනුවෙන් මෙම පෙත්සම ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය විසින් ගොනුකර තිබූ අතර පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ සම්පත් විජේවර්ධන ඇතුළු නිතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ජූලි මස 16 වැනි දා‍ මොරටුව දිසා අධිකරණයෙන් ලබාදුන් වාරණ නියෝගය නොතකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු නිලධාරීන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම, මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වීම් නියෝජනය කරමින් අදහස් දැක්වීම හා ප්‍රකාශ නිකුත් කිරීම යන දෑ සිදුකර අධිකරණයට අපහාස කර ඇතැයි ද වෛද්‍යවරු කණ්ඩායමක් විසින් මොරටුව දිසා අධිකරණයට වාර්තා කර තිබේ.

ඒ පිළිබඳ තීන්දුව ලබන ඔක්තෝබර් 15 වැනි සිකුරාදා ලබා දෙන බව ද මොරටුව දිසා විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!