-5.9 C
New York

මහ බැංකු අධිපතිගේ පත්වීමට එරෙහි පෙත්සම විභාගයට නොගන්න යැයි නිතිපති ඉල්ලයි

Published:

මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත්කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම අද (07) අභියාචනාධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී එම පෙත්සම් විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත්, එය විභාගයට නොගෙන නිශ්ප්‍රභා කරන ලෙසත් නීතිපතිවරයා විසින් මූලික විරෝධතා ගොනුකරන ලදී.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද කැඳවන ලදී.

අජිත් නිවාඩ් කබ්රාල්ගේ පත්වීම අභියෝගයට ලක්කරමින් පෙත්සම ගොනුකර තිබුණේ දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාරවරයකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් විසිනි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ කරුණු දක්වමින් කියා සිටියේ ඉදිරිපත් කර තිබෙන පෙත්සම තුළ අසත්‍ය සහ නොමග යවන සුළු තොරතුරු ඇතුළත්වන බවයි. එමෙන් ම අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම ජනාධිපතිවරයා විසින් කරන ලද පත්කිරීමක් බැවින් ඊට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම විභාග කිරීමට අධිකරණනයට බලයක් නැති බවත් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරන ලෙසත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා නීති පතිවරයා වෙනුවෙන් ඉල්ලා සිටියේය.

මෙම පෙත්සම ලබන 12 වනදා යළි කැඳවීමට නියම කළ අධිකරණය එදිනට පෙර ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියෝග කරන ලදී.

Related articles

Recent articles

spot_img