spot_imgspot_img

දකුණේ ගුරු උපහාරයට කියා මිලියන ගණන් වංචා කරලා. පරීක්ෂණත් නෑ

පුවත්

විදෙස්

දකුණු පළාතේ “සිසු තරණ ගුරු උපහාර” වැඩසටහ‍නෙන් විශාල මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සම්බ්නධයෙන් සිදුකර ඇති විගණනයකින් අනාවරණය වී තිබේ.

ජාතික විගණන කාර්යාලය විසින් සිදුකර ඇති මෙම විගණයෙන් අනාවරණය වී ඇත්තේ ගුරුවරුන්ට උපහාර ලබාදීම සඳහා “සිසු තරණ ගුරු උපහාර” වැඩසටහනේ දී පරිත්‍යාග කිරීමට රුපියල් 1000.00 බැගින් වූ තිළිණ පත් මිල දී ගැනීමේ දී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ක්‍රියාවලිය අනුගමනය කර නැති බවයි.

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් උපහාර තිළිණපත් 7,969ක් රුපියල් 8,566,600.00ක මුදලක් වැය කරමින් මිල දී ගෙන ඇති අතර ඒ අනුව එක් උපහාර තිළිණ පතක් වෙනුවෙන් ආසන්න වශයෙන් රුපියල් 1,075.00ක් වැය කර තිබේ.

මෙම උපහාර තිළිණපත් සාම්පල් සැපයුම්කරුවන් වෙත ඉදිරිපත් කර ඒ සඳහා වෙළෙඳ පොළ මිල ගණන් කැඳවීමට විගණනය කටයුතු කර ඇත. එහි දී අනාවරණය වී ඇත්තේ මෙම එක් උපහාර තිළිණ පතක සැබෑ වෙළෙඳ පොළ වටිනාකම රුපියල් 700.00ක් පමණක් බවයි. ඒ අනුව අමාත්‍යාංශය විසින් රුපියල් 1000.00 බව සඳහන් කරමින් උපහාර තිළිණ පත් මිල දී ගෙන ඇතත් එ් සඳහා වැඩිපුර රුපියල් 300.00ක් වැය කර ඇත.

විගණන වාර්තාව පෙන්වා දෙන්නේ දකුණු පළාතේ ගුරු උපාහරය සඳහා රුපියල් 1000.00ක තිළිණ පත්‍ර ප්‍රධාන කිරීමට බව පවසමින් උපහාර තිළිණ පත්‍ර 7897.00ක් මිල දී ගැනීමේ දී රුපියල් 2,369,100.00ක මූල්‍ය පාඩුවක් රජයට සිදුකර ඇති බවයි.

මීට අමතරව ගුරුවරුන්ට උපහාර පිදීම සඳහා නැවක ආකෘතියක් සහිත සමරු තිළින 72ක් රුපියල් 9,300.00 බැගින් මිල දී ගෙන ඇති අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් 669,600.0t0කි. නමුත් මෙම මිල දී ගැනීමෙන් පසු අමාත්‍යාංශයේ ම කමිටුවක් විසින් එම ආකෘතියක් රුපියල් 6,510.00ක මුදලකට මිල දී ගැනීමට හැකි බව කමිටු වාර්තාවේ ම සඳහන් කර තිබීම ගැන ද විගණන වාර්තාවේ අවධානය යොමුව ඇත.

ඒ අනුව එක් සමරු තිළිණයක් සඳහා රුපියල් 2,790.00ක් වැඩි පුර වියදම් කර ඇති අතර එමගින් රජයට සිදුව ඇති අලාභය රුපියල්  200,880.00 කි.

ඒ අනුව 2019 වර්ෂයේ දකුණු පළාතේ “සිසු තරණ ගුරු උපහාර” සඳහා තිළිණ පත්‍ර සහ සමරු තිළිණ මිල දී ගැනීමේ දී රජයට රුපියල් 2,569,980.00 ක මූල පාඩුවක් සිදුව ඇත.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළල චන්දිමා රාසපුත්‍රගේ උපදෙස් අනුව දකුණු පළාත් අධ්‍යාපන අමාතයාංශය සහ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් “සිසු තරණ ගුරු විදු උපහාර උළෙල” සංවිධානය කර තිබිණි.

ගුරු විදුහල්පතිවරුන් සඳහා උපහාර ලබාදීමට රුහුණු මාගම්පුර අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී 2019 අප්‍රේල් 03 වැනි දා පවත්වා තිබේ. හිටපු ජනාධිපති සහ එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා හිටපු කතානයක චමල් රාජපක්ෂ ,දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර ,දකුණු පළාත් සභා මන්ත්‍රී වරුන් ව සිටි ඩි වී උපුල් ,සිංහ සමන් කුමාර ,නිහාල් වෙදආරච්චි ,ටි වී ගාමිණී ,දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි වික්‍රමසිරි ,දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් කිත්සිරි ලියනගම ,දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක නිමල් දිසානායක ,දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සැලසුම් අධ්‍යක්ෂිකා නාලිකා දොඩම්පෙගම ,දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන සංවර්ධන අධ්‍යක්ෂිකා චන්දි පලාවෙල යන පිරිස ද සහභාගී වූහ.

හොඳම ප්‍රථිපල ලබාදුන් විදුහල්පතිවරුන් හා ගුරු භවතුන් 968 දෙනෙකුට එහි දී සම්මාන ලබා දී තිබිණි.

ජාතික විගණන කාර්යාලයේ විගණකාධිපති වෙනුවට සහකාර විගණකාධිපති ‍එම්.කේ.ඩී.රේණුකා ගේ අත්සනින් නිකුත් කර ඇති විගණන වාර්තාව දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට සහ දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයාට ද යොමුකර තිබේ.

එහි දැක්වෙන්නේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධානවලට අනුකූලව මෙම මිල දී ගැනීම් සහ ගෙවීම් සිදුවිය යුතු වුව ද එය එලෙස සිදුකර නැති බවයි. මෙම විගණනය සිදුවන අතර ඇතිවී තිබෙන මූල්‍ය වංචාවන් සම්බන්දයෙන් කරන ලද විගණන විමසුම් සඳහා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ මේ කරුණ සම්බන්ධයෙන් කමිටුවක් පත්කළ බවයි. එම කමිටුවේ දී ගත් තීරණ අනුව මිල ගණන් අඩුකර ගත් හෙයින් සිදුවීමට තිබූ පාඩුව අමකර ගත් බව ද ඒ හේතුවෙන් ර‍ජයට අවාසියක් සිදුව නැති බව ද දැනුම් දී තිබේ.

රජයට සිදුකර ඇති මූල්‍ය පාඩුවක් එලෙස කමිටුවක් පත්කර යළි ප්‍රසම්පාදන ක්‍රමවේද සකසා අවම පාඩුවක් සිදුවන ආකාරයෙන් යළි සැකසීමට හැකිනම් සැළසුම් සහගතව මුල් අවස්ථාවේ දී මේ පාඩුව සිදුකරන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් ගෙන ඇති විනය ක්‍රියාමාර්ග කවරේ ද යන්න සොයා බැලිය යුතුය.

දකුණු පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරයකු ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව යමින් රජයේ ආයතනයකට භාණ්ඩ මිල දී ගැනීම අනුමත කළ හැකි ද ? එමෙන් ම යම් භාණ්ඩයක් මිල දී ගෙන අවසන් වී වසරකට පමණ කාලයකට පසු එම භාණ්ඩවල මිල අඩුකිරීම සඳහා කමිටුවක් පත්කර රජයට සිදුවූ පාඩුව අවම කළ හැකි ද ?

රජයේ ආයතනයක් විසින් යම් භාණ්ඩයක් මිල දී ගැනීමෙන් පසු එහි දී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණන විමසුම් සිදුකර තිබෙන අවස්ථාවක දී නීත්‍යානුකූල නොවන කමිටුවක් මගින් එම මූල්‍ය වංචා නිවැරදි කිරීමට හැකියාව තිබේ ද ?

මේ කමිටුව මගින් සිදුකර ඇත්තේ විගණනයෙන් හෙළිවන වංචාවක් යට ගැසීම සඳහා නීති විරෝධී ලෙස වංචා කරුවන් සුරක්ෂිත කිරීම නොවන්නේ ද යන්න ප්‍රශ්න කළ යුතුව ඇත. මේ කමිටුව පත්කර ඇත්තේ ද වංචා සහගත ලෙස ප්‍රසම්පාදන කටයුතුවලට ආධාර හා අනුබල දුන් ප්‍රසම්පාදන කමිටු සභාපති විසිනි.

මේ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මෙතෙක් කිසදු විමර්ශනයක් සිදුකර නැත. වංචා කරුවෝ තවමත් තම තමන්ගේ තනතුරුවල රැඳී සිටිමින් පෙර පරිදිම කටයුතු කරගෙන යති.

(මෙම ලිපියේ සඳහන් කරුණු සම්බන්ධයෙන් යම් කිසි ආයතනයකට, පාර්ශවයකට හෝ පුද්ගලයකුට අගතියක් සිදුව ඇතැයි හැ‍ඟෙන්නේ නම් හෝ අමතර කරුණු දැක්වීමක් ඉල්ලා සිිටින්නේ නම් ඒ සියලු තොරතුරු මෙවැනිම ඉඩක් ලබා දී පළකිරීමට අපි බැඳී සිටින බව ද දන්වා සිටිමු)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!