කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (04) දිනයේ ගනුදෙනු 33,423ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,620ක් බවට වාර්තා විය.
අද දින කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය ඉතිහාසයේ වැඩිම අගය වන 9,542ක් වාර්තා කළ අතර දිනය තුළ පමණක් එය ඒකක 100ක ඉහළ යාමකි.
වැඩිම පිරිවැටුමක් සහිතව අද කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 568යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 498යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 373යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 47යි, රිල් ප්‍රොපටි සමාගම කොටස් මිලියන 39යි, බේරුවල රිසෝට් සමාගම කොටස් මිලියන 26යි ලෙස ප්‍රමුඛ විය.
එක්ස්පෝ ලංකා සමාගම තවදුරටත් රුපියල් බිලියන 381ක වත්කම් වාර්තා කරමින් කොළඹ කොටස් වෙළෙඳ පොළ වැඩිම වටිනාකමක් සහිත සමාගම ලෙස ද එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 290ක් වාර්තා කරමින් දෙවැනි ස්ථානයට ද, එල්ඕඑල්සී සමාගමේ අනුබද්ධ සමාගමක් වන කොමර්ෂල් ලීසිං සමාගම රුපියල් බිලියන 199ක් වාර්තා කරමින් තුන්වැනි ස්ථානයට ද පත්ව තිබිණි. විශේෂත්වය වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි වටිනාම සමාගම ලෙස ප්‍රථම ස්ථානය හිමිකරගෙන සිටි ජෝන් කීල්ස් සමාගම සිව්වන ස්ථානයට පත්ව තිබීමයි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර සිලෝන් හොටෙල් කෝපරේෂන් සමාගම 24%ක ප්‍රතිශතයකින් ද, බේරුවල රිසෝට් සමාගම 20%ක ප්‍රතිශතයකින්ද, ලාෆ් ගෑස් (X) 17%ක ප්‍රතිශතයකින් ද ඉහළ යනු දක්නට ලැබිණි.
අද දින කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සංවෘත කවය තුළ රෝයල් සෙරමික් සමාගමේ කොටස් මිලියන 02ක් රුපියල් 47.00 සහ 47.60 බැගින් හුවමාරු විය.
විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 08ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 60ක කොටස් විකුණා ඇත. ඒ අනුව ශුද්ධ ලෙස විදේශීය ආයෝජකයන් විසින් අද දිනයේ දී පමණක් රුපියල් මිලියන 52ක කොටස් විකුණා දමා ඇත.
අද දිනය දක්වා මේ වසර තුළ දී පමණක් විදේශීය ආයෝජකයන් විසින් රුපියල් බිලියන 44.907ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත. විදේශීය ආයෝජකයන් විසින් අද දිනයේ කොටස් මිල දී ගත් සමාගම් අතර එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 1.1යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 01යි, ජෝන් කීල්ස් ලිමිටඩ් සමාගම රුපියල් ලක්ෂ 432,000ක් ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 29යි, සීටීහෝල්ඩින් සමාගම රුපියල් මිලියන 12.6යි, ඩිස්ටරලීස් සමාගම රුපියල් මිලියන 3.7ක් ලෙස ප්‍රධාන විය.
කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය සැප්තැම්බර් මාසයේ දී වාර්තා කිහිපයක් පිහිටුවා ඇත. ඒ අතර 99%ක ප්‍රතිශතයකින් මාසික පිරිවැටුම ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි. එය රුපියල් බිලියන 793ක් බවට පත්වී ඇත. සැප්තැම්බර් මාසයේ දී පමණක් කොටස් මිලියන 39,648ක් ගනු දෙනු වී ඇති අතර එය 85%ක වර්ධනයකි. සැප්තැම්බර් මාසයේ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය 39.6% කින් ඉහළ ගොස් ඇති අතර මාසික පිරිවැටුම ද 33%කින් ඉහළ ගොස් ඇත.
කොටස් වෙළෙඳ පොළ සියලුම සමාගම්වල වටිනාකම රුපියල් බිලියන 4,215.6ක් ලෙස සටහන්ව ඇති අතර එය 42%ක ඉහළ යාමකි.
දැනට ශ්‍රී ලංකාව තුළ පවතින වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකි හොඳම ආයෝජන ක්‍රමවේදය ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ වාර්තා පිහිටුවා ඇති අතර ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල සහ රජයේ අරමුදල් ඉතා ඉක්මණින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කරනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළකර සිටිති.
(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)