මොරටුව දිසා අධිකරණ නියෝගයක් මත වාරණයට ලක්ව ඇති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් වෙන්කිරීම බරපතල වරදක් බව සඳහන් කරමින් යුක්තිය උදෙසා සංසදරය විසින් රාජ්‍ය සේවා කොමිසමට ද පිටපත් සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපිියක් යොමුකර තිබේ.
මෙම ලිපියේ දැක්වෙන්නේ 2021 ජුනි මස 26 වැනි දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය පැවැත්වීමට තිබුණ ද එය කල් ගිය බවයි. ඉන් පසු මොරටුව දිසා අධිකරණයෙන් ජූලි මස ලබාදුන් අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලතල දැරූ සභාපපති ඇතුළු විධායක කමිටුවට නිලවරණයට අදාල කටයුතු හැර වෙනත් කිසිදු කටයුත්තක නොයෙදෙන ලෙස වාරණ නියෝගයක් දී ඇත. ඒ අනුව ජුනි මස 30 වැනි දිනෙන් පසුව එම සංගමයේ මූල්‍ය පාලනය, ලිපි ශීර්ෂ යොදා ගැනීම, නිල නාමයන් භාවිතා කිරීම වළක්වා තිබේ.
එසේ අධිකරණ නියෝගයකින් වාරණය වී ඇති සංගමයකට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් “යහපත් සීමාවාසිකයා” යන පුහුණුව සඳහා මිලියන ගණනක මුදලක් ලබා දී ඇතැයි එම ලිපියේ දක්වා ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යම් වෘත්තීය සමිතියකට මුදල් ලබාදෙන්නේ නම් එම සංගමයේ නීත්‍යානුකූළ භාවය පිළිබඳ මූලික තක්සේරුවක් කිරීම අවශ්‍ය කරුණකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාරණයට ලක්ව ඇති විධායක කමිටුව විසින් පවත්වාගෙන යන “යහපත් සීමාවාසිකයා” යන වැඩසටහනට අමාත්‍යාංශය මුදල් ලබා දීම නීති විරෝධී බව ද එම ලිපියෙන් අවධාරණය කර තිබේ.
අධිකරණයෙන් ලබා දී ඇති වාරණ නියෝගය අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවසන්වතාවට සිටි විධායක කමිටුවේ කිසිවෙකුට නිලවරණයට අදාල නොවන කිසිදු කටයුත්තක නිරතවීම, ලිපි ශීර්ෂ භාවිතා කිරීම, ගිවිසුම් අත්සන් කිරීම හෝ මාධ්‍ය නිවේදන නිකුත් කිරීමට හෝ බලයක් නැත.
ඔවුන් එලෙස කටයුතු කරන්නේ නම් එය අධිකරණයට අපහාස කිරීමකි.
එමෙන්ම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු විධායක කමිටුවට අධිකරණ වාරණයක් තිබිය දී එම සංගමයේ කල් ඉකුත්වූ විධායක කමිටුවේ නිලධාරියකු වන වෛද්‍ය ජෝසප් සෙනාල් ප්‍රනාන්දු නීත්‍යානුකූළ වෘත්තිය සමිතිවලට හිමිවන වරප්‍රසාදයක් වන තම සේවක වැටුප පමණක් ගෙන පූර්ණකාලීනව සංගමයේ වැඩ කටයුතු සඳහා වෘත්තීය සමිතියට අනුයුක්ත වී කටයුතු කිරීමට ඇති වරප්‍රසාදය හිමිකරගෙන ඇතැයි ද එම ලිපියේ දක්වා තිබේ. අපේක්ෂා රෝහලේ සේවය කරන ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුග්‍රහය ද ඇතිව පූර්ණකාලීනව වෘත්තීය සමිති කටයුතු සඳහා මුදාහැරීම ද නීති විරෝධී බව යුක්තිය උදෙසා සංසදය පවසයි.
එම සංගමයේ ලේකම්වරයා කියා සිටියේ මේ නීති විරෝධී මුදල් වෙන්කිරීම සහ වාරණයට ලක්වූ නිලධාරී මණ්ඩලය තවදුරටත් අධිකරණ නියෝගය නොතකා කටයුතු කිරීම අධිකරණයට කරනු ලබන අපහාසයක් බැවින් ඒ සම්බන්ධව නීතිඥයන් මගින් අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.
සැ.යු.
මෙම පුවතෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ සංවිධානයකට අගතියක් සිදුවන්නේ යැයි හැඟෙන්නේ නම් ඔවුන් විසින් කරනු ලබන පැහැදිළි කිරීම් අධිකරණමය නියෝගයට යටත්ව සිදුකිරීමට අපි බැඳී සිටින බව ද දන්වා සිටිමු.