spot_img
spot_imgspot_img

හාමුදුරුවන්ගේ සද්දෙට බය වූ පොලිසිය නීති නොතකා හරී. හාමුදුරුවෝ ගමට තග දමමින් අපරාධමය වැරදි කරලා

පුවත්

විදෙස්

මහනුවර දිස්ත්‍රික්කයේ දවුලගල පොලිස් බලප්‍රදේශයේ පිහිටා ඇති කැලියල්පිටිය පුරාණ විහාරස්ථානයේ ඝෝෂාකාරී ශබ්දය පීඩාකාරී බවට පොලිසියට සහ ජනාධිපතිවරයා දක්වා සියලුම නිලධාරීන්ට පැමිණිලි කර ඇතත් වසර 02ක කාලයක් පුරා ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර නැත.

එම පුද්ගලයා විසින් පොලිසියට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ඔහුට විරුද්ධව ගමේ පදිංචිකරුවන් පෙළ ගැස්වීම් අරමුණෙන් හිමියන් විසින් විහාරස්ථානය අසළින් ගමට යන මාර්ගය ද ගේට්ටුවක් දමා වසා තිබේ. එය පොදු දේපළ අවහිර කරමින් විහාරස්ථ හිමියන් කරනු ලබන බරපතල වැරදකි.

විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍රවලට එරෙහිව පැමිණිලි කර ඇත්තේ පේරාදෙණිය, කැලියල්පිටිය පදිංචි නාලක මිහිරි බණ්ඩාර නමැති අයෙකි. ඔහු පවසන්නේ විහාරස්ථානයේ මේ ඝෝෂාකාරී ශබ්දයෙන් තමන් වසර 03ක පමණ කාලයක සිට පීඩා විඳින බවයි.

හාමුදුරුවො පොලිසිය මඟහරියි

ඒ සම්බන්ධයෙන් විහාරාධිකාරී තලාවේ සීලරතන හිමියන් සහ විහාරාධිපති ඇටිපොළ බුද්ධරක්ඛිත හිමියන් සමඟ සාකච්ඡා කර ශබ්දය අඩුකරන්න යැයි ඉල්ලීම් කළ අවස්ථාවේ ගමේ පන්සලේ ශබ්දය ඉවසා සිටිය නොහැකිනම් වෙනත් පන්සලක් සොයා ගන්න යැයි කීවෙන් පොලිසියට පැමිණිළි කළ බව නාලක මිහිරි බණ්ඩාර පවසයි.

ඔහු මේ වනවිට පොලිසියට පැමිණිලි 04ක් සිදුකර ඇත. එමෙන්ම මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ද පැමිණිලි කර තිබිණි. ඊට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයට ද පැමිණිලි කර තිබේ. නමුත් ‍මෙතෙක් ඔහුට සාධාරණය ඉටු වී නැත.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් විභාග කිරීමට යැයි පවසමින් පැමිණිල්ල කළ බණ්ඩාර 46 වතාවක් දවුලගල පොලිසියට කැඳවා ඇතත් ඒ කිසිම අවස්ථාවක විහාරාධිකාරී හිමියන් හෝ විහාරාධිපති හිමියන් පොලිසියට පැමිණ නැත.

පාංශකූල දීමත් පන්සලේ සිට ශබ්ද විකාශනයෙන්

අප කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ එම විහාරස්ථානයේ අළුයම 4.30 සිට 5.30 දක්වාත්, නැවත සවස 5.00 සිට 6.00 දක්වාත් පිරිත් සජ්ජායනාවක් ශබ්ද විකාශන යන්ත්‍රවලින් ප්‍රචාරය කරනු ලබන බවයි. මීට අමතරව සෑම පොහොය දිනකම දිනය පුරා විවිධ ප්‍රචාරක කටයුතු සිදුකරන අතර දැන් සති කිහිපයක සිට විහාරස්ථාන පේරුවේ මරණයක් සිදුවුවහොත් විහාරස්ථානයේ සිට පාංශකූලය පවත්වා එම නිවසට ඇසෙන්නට ශබ්ද විකාශන යන්ත්‍රවලින් ප්‍රචාරය කරනු ලබයි. එම මරණ සම්බන්ධ මතක බණ කීම ද විහාරස්ථානයේ සිට ගමටම ඇසෙන්නට ප්‍රචාරය කිරීම පසුගිය සති කිහි‍පයේ සිට ආරම්භ කර තිබේ.

සාමණේර හිමිවරුන්ට ශබ්දය කරදරයි කියා ගමට ඇහෙන්න දාලා

පැමිණිල්ල සිදුකළ බණ්ඩාර පවසන්නේ මේ විහාරස්ථානයේ ප්‍රධාන ස්ථාන දෙකක ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර ඇති බවයි. එහි තරමක් පහළින් පිහිටි විහාර මළුවේ ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර තිබෙන අතර ඊට වඩා ඉහළින් පිහිටි බෝ මළුවේ අනෙක් ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර ඇත. බෝමළුවේ සිට පැමිණිල්ල සිදුකළ බණ්ඩාරගේ නිවසට ඇත්තේ මීටර 15ක පමණ දුරකි.

“හාමුදුරුවෝ සාමාන්‍ය වෙලාවට දාන්නේ උඩ තියෙන බෝ මළුවේ ස්පීකර් විතරයි. පහළ විහාර මළුවේ තියෙන ඒවා දාන්නේ පෝය දවසට පමණයි. ඒ ඇයි කියලා ඇහුවම කියනවා පහළ ඒවා දැම්ම හාමුදුරුවරුන්ට ශබ්දය වැඩියි. කරදරයි කියලා. පොඩි හාමුදරුවරුන්ට පාඩම් කරන්න බෑ කියනවා. එහෙම කියමින් ගමටම ඇහෙන්න උඩ බෝ මලුවේ ස්පීකර් දාලා අපිට වද දෙනවා.”

පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකර මඟහරියි

අපි මේ පළිබඳ දවුලගල පොලිසියේ ස්ථානාධිපති නිලන්ත අබේවර්ධනගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් මහනුවර සහකාර පොලිස් අධිකාරීවරයා කටයුතු කරමින් පවතින බවයි.

“අපි මේ පැමිණිල්ල විභාග කරලා ප්‍රශ්නය විසඳන්න අවස්ථා කිහිපයක්ම උත්සාහ ගත්තා. බලපත්‍රයක් නැති නිසා හාමදුරුවන්ට කිව්වා මේක නතර කරන්න කියලා. සතියක් විතර නතර කරලා තියලා ආපහු පටන් ගත්තා. හාමුදරුවෝ කියනවා ගමේ අයට ඕන නිසා පිරිත් දානවා කියලා. එක පුද්ගලයෙක් ඊට විරුද්ධව පැමිණිලි කරනවා. පොලිසියට හාමුදුරුවන්ව කැඳවපු අවස්ථාවල දී හාමුදුරුවෝ පැමිණියේ නැහැ. මේ ප්‍රශ්නය විසඳන්න අමාරු දෙයක්. පාරක් වහපු කතාවත් ඇත්ත. පාර අයිති ප්‍රාදේශීය සභාවට ඒ නිසා අපිට ඒකට මැදිහත් විය නොහැකියි. අප දන්නා තරමින් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඒ සම්බන්ධ මැදිහත් වෙලා තිබෙනවා.”

මේ සම්බන්ධයෙන් මහනුවර සහකාර පොලිස් අධිකාරී ජී.ජී.එස්.ඩී.අංගම්මනගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන බවයි. පැමිණිලි සිදුකරන පුද්ගලයා සෑම තැනකටම පැමිණිලි කර ඇති බව ද හෙතමෙ කීවේය.

rata.lk – දැන් පැමිණිලිවලට අවුරුදු 02ක් වෙනවා ඉතින් තාමත් මේ පුද්ගලයාට සාධාරණය ඉටුවෙලා නැහැ නේද

සහකාර පොලිස් අධිකාරී – ඔව් ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් මධ්‍යම පරිසර අධිකාරියට මේ ගැන දැනුම් දීලා තියෙනවා ඒ අය පරීක්ෂණයක් කරලා දැනුම් දුන්විට අපි ඒ ගැන අධිිකරණයට වාර්තා කරලා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නවා.

rata.lk – හාමුදුරුවෝ පොලිසියට කැඳවපු අවස්ථා එකකදීවත් ඇවිත් නැහැනේද 46 වතාවක් පැමිණිලි කරු ඇවිත් ආපහු හැරිලා ගිහින්. හාමුදුරුවෝ නොපැමිණීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළාද ?

සහකාර පොලිස් අධිකාරී – අපි මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.

rata.lk – පන්සලේ ශබ්ද විකාශනයට බලපත්‍රයක් නැහැනේ. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒ නියෝගය අනුව පොලිස්පතිතුමා 2007 නිකුත් කළ ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධ චක්‍රලේඛය තවමත් වලංගුයි. බලපත්‍රයක් නැති ස්ථානයක පීඩාකාරී ශබ්ද විකාශනයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ආවම දෙපාර්ශවය ගෙන්වන්නේ නැතිව උපකරණ හා ඒවා විකාශය කරන අය අරගෙන ගිහින් අධිකරණයට වාර්තා කරන්න ඕනෑ නේද ?

සහකාර පොලිස් අධිකාරී – මෙහෙමයි මෙතන සදාචාරයක් තියෙනවානේ. මේ පන්සලකින් පිරිත් දැමීමක් නේ. ඉතින් අපිට ඒවා කරන එකේ ගැටලු තියෙනවා. මම ඒකයි ඔබට කීවේ අපි මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දී තිබෙනවා මේ ගැන සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. ඊට පස්සේ අපි අධිකරණයට කරුණු වාර්තා කරනවා.

පොලිසිය එසේ කියමින් මේ ප්‍රශ්නය මඟ හරී. පොලිසිය සිටින්නේ මෙරට නීතිය ආරක්ෂා කිරීමට මිස මහජනතාවට පීඩා සිදුකරන පුද්ගලයන් ආරක්ෂා කිරීමට නොවන බව මෙරට වලංගු නීතිය අනුව අප පැහැදිලි කර දිය යුතුව ඇත.

චූදිතයා නොපැමිණෙන විට පොලිසිය කළ යුතු දේ සම්බන්ධ නීතිය

පළමුවෙන්ම කිව යුත්තේ පැමිණිලි කරු 46 වතාවක් පොලිසියට කැඳවා තිබිය දී චූදිත පාර්ශවය පොලිසිය මඟහැර සිටින්නේ නම් ඒ බව අධිකරණයට වාර්තා කිරීම පොලිසියේ වගකීමකි. රජයේ නිලධාරියකු විසින් පැමිණිල්ලක් විභාග කිරීම සඳහා නොපැමිණෙන්නේ නම් අධිකරණයෙන් සිතාසි යැවිය හැකි අතර එලෙස නොපැමිණ සිටීම 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ වගන්ති 109 (6) අනුව පොලිසියට ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීමේ බලය හිමිවේ. එලෙස කැඳවීමේ දී තවදුරටත් පැමිණීම මඟහරින්නේ නම් දණ්ඩ නීති සංග්‍රහයේ 172 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදකි.

අධිකරණයට මේ සම්බන්ධ කරුණු වාර්තා කර විත්තිකාර පාර්ශවයට නොතීසි යැවීමටත්, ඒ අනුව අධිකරණයට පැමිණි විට දඩ මුදලක් ද අයකර පොලිසියට යොමුකිරීම සිදුවෙයි. එසේ ද නොකළහොත් පොලිසිය අදාල පාර්ශවයට එරෙහිව වරෙන්තු ඉල්ලා සිටිය යුතුය.

නමුත් ගැටලුව වන්නේ පොලිසිය මේ නීති සියල්ල නොතකා පැමිණිලි කාර පාර්ශවය වසර 02ක කාලයක් පුරා 46 වතාවක් පොලිසියට ගෙන්වා රස්තියාදු කර තිබීමයි.

පොලිසිය අධිකරණයට නියෝග, පොලිස්පති චක්‍රලේඛ නොතකා හැරලා

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2007 නොවැම්බර් මස 09 වැනි දා ලබා දී ඇති තීන්දුවක දැක්වෙන්නේ මේ ආකාරයෙනි.

“කිසිම ආගමක් අනුන්ගේ සාමයට බාධා කිරීමක් හෝ දේශනා කිරීමක් කරන්නේ නැත. ආගමේ නාමයෙන් ශිෂ්ඨ සම්පන්න සමාජයකට බාධා කරන ක්‍රියාකාරකම් හිමිදිරියේ හෝ දිවා කාලයේ දී හෝ නිදා සිටින විට දී හෝ දරුවන් හෝ වෙනත් අයගේ කටයුතු කරගෙගන යාමට බාධාවක් විය නොහැක. අසල්වැසි ජනතාවට ඔවුන්ගේ ස්වභාවික අයිතිය භුක්ති විඳීමට අයිතියක් ඇත. පූජනීය යැයි කියන සූත්‍ර සජ්ජායනාවට සහ පරිසරයේ නිශ්චලතාවයට බාධා කිරීම, එවැනි ගායනයකට හෝ දේශනයකට හෝ ස්ජ්ජායනාවකට සම්බන්ධ නොවන පුද්ගලයන්ගේ කන් මත එය බලෙන් පැටවීම ආගම්වල උගන්වා නැත.”‍

එම නියෝගය අනුව කැලියල්පිටිය පුරාණ විහාරස්ථානය  ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අමු අමුවේ ම උල්ලංඝනය කරයි.

එලෙස ලබා දී ඇති නියෝගය අනුව එවකට අපරාධ හා මෙහෙයුම් නියේාජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න විසින් 2007 නොවැම්බර් මස 28 දිනැතිව සියලුම දිසාභාර ‍නියෝජ්‍ය පොලිස්තිවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත්කර එම නඩු තීන්දුව ප්‍රකාරව 2007-11-22 දිනැති පොලිස්පති චක්‍රලේඛ 2031/2007 හා අපරාධ චක්‍රලේඛ 16/07 අනුව කටයුතු කරන ලෙස දන්වා තිබේ.

නමුත් මේ වනවිට දවුලගල පොලිසිය සහ මහනුවර සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පොලිස්පතිගේ චක්‍රලේඛය නොතකා හැර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ද නොතකා හරිමින් අධිකරණයට අපහාස සිදුකර ඇති බව නීති විශාරදයෝ කියති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 (04) වගන්තියේ

  • ඇම්ප්ලිෆයර් භාවිතා කිරීමෙන් ශබ්දය විමෝචනය කිරීම සම්බන්ධ දැක්වෙයි.

ශබ්ද විකාශන යන්ත්‍ර හෝ වෙනත් උඵකරණ හෝ මහජනයාට හෝ එහි සිටින ජනතාවට කරදර ඇතිකරන්නේ නම් (අවට වාසය කරන හෝ දේපළ හිමි සාමාන්‍ය අයට) දණ්ඩ නීති සංග්‍රයේ 261 වගන්තිය අනුව එය පොදු කරදරයක් ලෙස සැළකේ.

‍මේ අනුව කැලියල්පිටිය පුරාණ විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍රවලින් සිදුකරන පිරිත් දේශනා ඇතුළු ශබ්ද විකාශන කටයුතු දණ්ඩ නීති සංග්‍රහය අනුව වරදක් බව ද පොලිසිය අමතක කර තිබේ. එවැනි වරදක් කිරීම සම්බන්ධයෙන් පොලිසියට පැහැදිලි පැමිණිල්ලක් තිබෙන අවස්ථාවක දී පොලිසිය එය ක්‍රියාත්මක කර නැත.

පොලිස් පනතේ වගන්ති ක්‍රියාත්මක නොකරන පොලිසිය

මෙම විහාරස්ථානයේ විහාරාධිපති ඇටිපොළ බුද්ධරක්ඛිත හිමියන් අමතා මේ ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් බලපත්‍රයක් ඇත්දැයි විමසා සිටි විට එවැනි බලපත්‍රයක් ලබාගෙන නැති බව හිමියෝ කීහ.

ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් බලපත්‍ර නිකුත් කිරීම පොලිසියට පැවරී ඇති රාජකාරියකි. ඒ සඳහා මුදල් අයකිරීමක් ද සිදුකළ යුතුය.

විශේෂ ආගමික කටයුතු සහ අනෙකුත් විශේෂ සිදුවීම් සඳහා වුව ද ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ හැකි වන්නේ අවට සිටින පුද්ගලයන්ගේ කැමැත්ත විමසීමෙන් පසු අවට ඇති ඉඩම් පරිශ්‍රයන් පිළිබඳ වාර්තාවක් ළඟම ඇති මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අවසර ගැනීමෙන් පමණි.

මේ විහාරස්ථානය සම්බන්ධයෙන් කිසිම බලපත්‍රයක් නිකුත් කර නැති බව දවුලගල පොලිස් ස්ථානාධිපතිවරයා ද පිළිගත්තේය.

ගැටලුව ඇත්තේ පොලිසිය නීතිය දැන දැන ම නීතිය කැඩීමට අනුබල දීමයි. මේ විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍රවලින් තම පැවැත්මට හානියක් සිදුවන බවට පුද්ගල පැමිණිල්ලක් තිබිය දී එම විහාරස්ථානයට ශබ්ද විකාශන බලපත්‍රයක් නැතිව මෙම විකාශන කටයුතු කරන බව පොලිසිය හොඳින්ම දන්නේ නම් කළ යුත්තේ පොලිස් ආඥා පනතේ 80 වැනි වගන්තිය යටතේ වහාම එම නීති විරෝධී සහ පීඩාකාරී ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ අනෙකුත් උඵකරණ අත්අඩංගුවට ගෙන පොලිස් ආඥා පනතේ 80 (4) වගන්තිය අනුව ඒවා අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.

අපට ඇති ගැටලුවනම් මේ නීති ක්‍රියාත්මක නොවන්නේ හාමුදුරුවන්ගේ ශබ්දයට පොලිසිය බයවීම හේතුවෙන් ද යන්නයි.

පොලිසියට පොලිස් මූලස්ථාන උපදෙස් අමතක වෙලා

මේ සියල්ලට ම අමතරව 2013 සැප්තැම්බර් මාසයේ දී පොලිස් මූලස්ථානය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධ කරුණු 13කින් සමන්විත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ 2007 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සෑම ශබ්ද විකාශන යන්ත්‍රයක් සඳහාම වෙන වෙනම බලපත්‍ර ලබාගත යුතු බවයි.

එම උපදෙස් අනුව ශබ්ද විකාශන බලපත්‍රයක් නිකුත් කරනු ලබන යම් පරිශ්‍රයක් තිබේනම් එහි සීමාවෙන් පිටතට ශබ්දය විස්තාරණය නොවිය යුතුය. මේ අනුව කැලියල්පිටිය පුරාණ විහාරස්ථානය භූමියෙන් පිටත නිවසක පදිංචි නාලක මිහිරි බණ්ඩාරගේ නිවසට ඇසෙන පරිදි ශබ්දය ප්‍රචාරය කිරීමට විහාරස්ථ හිමිවරුන්ට කිසිදු නෛතික බලයක් නැත.

ශබ්ද විකාශන යන්ත්‍ර ස්ථිරව සවිකීරීමට බලපත්‍ර නිකුත් කරන්නේ නැත. නමුත් මේ ශබ්ද විකාශන යන්ත්‍ර ස්ථිරව සවිකර තිබේ. මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශයන්ට අනුව ශබ්දයක් ඩෙසිබල් 70 නොඉක්මවිය යුතු අතර බණ්ඩාරගේ නිවසේ සිට එය මැන බැලූ විට ඩෙසිල් 120ක ශබ්දයක් එම නිවසට ඇසෙයි.

තාවකාලික බලපත්‍රයක් නිකුත් කිරීමේ දී ද එය නිකුත් කරන්නේ උදෑසන 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයකට පමණි. නමුත් මේ විහාරස්ථානයේ ශබ්ද විකාශනය ආරම්භ වන්නේ අළුයම 4.30ට බව එහි විහාරාධිපිත හිමයෝ අප සමඟ පැවසූහ. එමෙන් ම පොලිස්පති උපදෙස් අනුව සියලුම ශබ්ද විකාශන යන්ත්‍ර අදාල බලපත්‍රය ගත් පරිශ්‍රය දෙසට හරවා සවිකර තිබිය යුතු වුව ද මේ විහාරස්ථානයේ ඒවා සවිකර ඇත්තේ පිටතට සිටින ආකාරයෙනි. එය ද වරදකි. එම කොන්දේසි අතරින් 12 වැන්නේ දක්වා ඇත්තේ බලපත්‍රය ලබාදෙන පරිශ්‍රයෙන් පිටත පදිංචිකරුවන්ට හෝ වෙනත් කාර්යයන්හි නිරතව සිටින අයට බාධාවක් නොවිය යුතු බවයි. නමුත් මෙය බාධාවක් බව පදිංචිකරුවකු විසින් පොලිසිය ට පැමිණිලි කර ඇතත් පොලිසය පොලිස්පතිවරයාගේ උපදෙස් ද නොතකා ක්‍රියාකරයි.

මීට අමතරව පොලිසියට සිහි කැඳවිය යුතු වැදගත් කරුණු කිහිපයක් ද අපි සඳහන් කරන්නෙමු.

ශබ්ද විකාශන සම්බන්ධ අධිකරණ තීන්දු කිහිපයක්

2017 ජනවාරි 25 වැනි දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී උඩුවේ ධම්මාලෝක හිමි වැඩ සිටින ඇලන්මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර මහජනතාවට පීඩාවක් බවට තීන්දුවක් දී ඇත.

එමෙන් ම ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ නිශාන්ත පීරිස් 2018 ජනාවරි 17 වැනි දින 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 වැනි වගන්තිය යටතේ ඉදිරිපත් කරනු ලබන ඉල්ලීමක් සම්බන්ධයෙන් හබරාදුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කරනු ලබන පැමිණිල්ලකට අනුව නඩු අංක 85293 – 2018 තීන්දුව ශබ්ද විකාශන යන්ත්‍රය භාවිතය වළක්වමින් නිකුත් කර ඇත.

මෙවැනි අධිකරණ නියෝග තිබිය දී පවා ‍මහනුවර සහකාර පොලිස් අධිකාරී කාර්යාලය සහ දවුලගල පොලිසිය රටේ ජනතාව වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත.

පොලිසියේ සදාචාරය සහ රටේ නීතිය

සහකාර පොලිස් අධිකාරීවරාය සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළ අවස්ථාවේ දී ඔහු කියා සිටියේ විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර ගැලවීම සදාචාරාත්මක ප්‍රශ්නයක් බවයි.

නීතියට ඉහළින් ඇති සදාචාරය කවරක්ද යන්න ගැටලුවකි.

පැමිණිල්ල සිදුකළ නාලක මිහිරි බණ්ඩාරගේ නිවසේ තත්වය අතිශය භයානකය. ඔහුගේ 08 හැවිරිදි දරුවා දිර්ඝකාලීන ස්නායු රෝගියෙකි. ශබ්දය අතිශය හානිකරය. මාසය 09ක් වයසැති බාල දරුවා මේ ශබ්දයට බියපත්ව සෑම දිනකම අළුයම 4.30ට අවදි වී නොනවත්වා හඬා වැටෙයි. මව දිගුකලක් රෝගාතුරය.

‍හාමදුරුවෝ පාරක් වසා ගමට තග දමති. පැමිණිලිකරුගේ ජාතකයත් සොයලා

පොලිසියේ උපදෙස් පරිදි සතියක පමණ කාලයක් මේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක නොකළ හිමියෝ ඉන් පසු ඇසළ පොහෝ දා ප්‍රදේශවාසීන් විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කර අපූරු දේශනයක් කළහ. එහි දී මෙසේ කියා තිබේ.

“මේ ගමේ ඉන්න අවජාතක හැත්ත පිරිත්වලට විරුද්ධයි. මේ ගමේ අයට ගමේ පාර අවශ්‍යනම් එයාට කියලා දෙන්න.” යනුවෙන් කීහ.

ඉන් පසු හිමියෝ ගමේ ජනතාව වසර ගණනාවක් භාවිතා කළ ප්‍රාදේශීය සභා මාර්ගය වසා දැමූහ. ගම් වැසියෝ ශබ්ද විකාශන යන්ත්‍රවලට පක්ෂ බව කියා ලිපියකට අත්සන් කළ අතර ඊට එරෙහිව පැමිණිලි කළ නාලක මිහිර බණ්ඩාරගේ නිවසට ගොස් පන්සලට එරෙහි වන්නට එපා යැයි බලපෑම් කළහ.

එසේ ගමට තර්ජනය කරමින් බලපෑම් කළ හිමියෝ ශබ්ද විකාශන යන්ත්‍ර අද දක්වාම මහ හඬින් ක්‍රියාත්මක කරති.

රටේ නීතිය අදාල නැතැයි හිමියෝ කියති

අපි මේ කරුණු සම්බන්ධයෙන් විහාරාධිකාරී තලාවේ සීලරතන හිමියන්ගෙන් විමසූ විට “මට මොකුත් කියන්න බෑ. අපේ නායක හාමුදුරුවන්ගෙන් අහන්න” යැයි කීහ.

මෙම විහාරස්ථානයේ විහාරාධිපති මල්වතු මහා විහාරයේ කාරක සභික හිමිනමක් ‍වන ඇටිපොළ බුද්ධරක්ඛිත හිමියන්ගෙන් මේ ගැන විමසූ විට මෙසේ කීහ.

“කොහොමද මිනිස්සු පන්සලට විරුද්ධ වෙන්නේ. මේ ගමේ එක්කෙනකුගේ ප්‍රශ්නයක්. එයා හැමතැනටම පැමිණිලි කරනවා. එයාගේ අම්මට පවා පිරත් කිව්වේ මම. එයාට බෑ අපිට විරුද්ධ වෙන්න. එකපාරක් අපි මෙයාගේ ඉල්ලීම සළකා බලලා පිරිත් නැවැත්තුවා. ඒ වෙලාවේ ගමෙන් ලොකු විරෝධයක් ආවා. පිරිත් දාන්න කියලා මම කිව්වා මට බෑ කියලා. ඊට පස්සේ ගමේ මිනිස්සු 45 දෙනෙක් ලියුම් දීලා ඇවිත් දායක සභාවෙන් පිරිත් දාන්න ගත්තා. දැන් පිරිත් දාන්නේ මම නෙවෙයි. ගමේ මිිනිස්සු ඕක මට කියලා වැඩක් නෑ. පන්සල කියන්නේ මගේ පුද්ගලික දෙයක් නෙවෙයි. ඒක පොදු දේපළක්. එයාට අහගෙන ඉන්න බැරිවුණාට අපිට කරන්න දෙයක් නෑ.”

rata.lk – හාමුදුරුවනේ එතකොට පහළ තියෙන ස්පීකර්වල පිරිත් දාන්නේ නැත්තේ පොඩි හාමුදුරුවන්ට කරදරයි කියලා ඒ කතාව ඇත්ත ද ?

නායක හිමියන් – ඒක දාන නොදාන එක ගමේ මිනිස්සුන්ගේ වැඩක්.

rata.lk – මේ ශබ්ද විකාශනයට බලපත්‍රයක් අරන් තියෙනව ද ?

නායක හිමියන් – නෑ. මොකටද බලපත්‍ර. මේක පොදු වැඩක්

rata.lk – පොලිසියේ පැමිණිල්ලට ගියේ නැත්තේ ඇයි හාමුදුරුවනේ ? 46 වතාවක් කැඳවලා තියෙනවා නේද ?

නායක හිමියන් – අපි හාමුදුරුවරු පිරිත් දැම්මා කියලා පොලිසියට කැ‍ඳෙව්වාම ‍අපි මොකට ද පොලිසි යන්නේ ?

rata.lk – රටේ නීතියක් තියෙනවානේ හාමුදුරුවනේ. නීතිය අනුව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරනවානම් බලපත්‍රයක් ගන්න ඕනෑ. ඒක කරන්න ඕනේ පන්සලෙන්.

නායක හිමියන් – මේක කරන්නේ දායකයන්. ඒක කියන්න දායකයන්ට

rata.lk – දායකයන් කරත් පරිශ්‍රයේ ප්‍රධානියා ඔබ වහන්සේ. නීත්‍යානුකූළව වැඩ කරන්න ඕනෑ ඔබ වහන්සේ. මේ කරන දේ නීතිය හමුවේ වරදක් බව ඔබ වහන්සේ දන්නවා ද ? ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් පවා තියෙනවා.

නායක හිමියන් – නීතිය. ඒක මට අදාල නෑ

rata.lk – මේ මනුස්සයා පොලිසියට පැමිණිලි කළ නිසා හාමුදුරුවෝ පාරක් වැහුවා කියන්නේ ඇත්ත නේද ? එහෙම පොදු පාරක් වහන්න පුළුවන් ද ?

නායක හිමියන් – මේක මගේ පන්සල. කාගෙවත් දෙයක් නෙවෙයි. (මීට පෙර හිමියන් කීවේ පන්සල හාමුදුරුවන්ගේ දෙයක් නොව ගමේ පොදු දෙයක් බවයි. දැන් ඒ බව අමතක වී ඇත) ඔය මිනිස්සුන්ට පන්සලෙන් පාරක් දුන්නා. අවුරුදු ගානකට උඩින්. ඒක ප්‍රාදේශීය සභාවට පවරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මුදල් වෙන්කරගෙන පාර හැදුවා. මේ එක පුද්ගලයෙක් පන්සලට විරුද්ධ නිසා මම ගේට්ටුවක් දාලා පර වැහුවා. මේ ගැන මට කතාකරලා වැඩක් නෑ. පුළුවන්නම් නඩු දාලා බේරගන්න කියන්න.

නීතිය නොදන්නා, නීතියට ගරු නොකරන මෙවැනි හිමිවරුන් සමඟ තවදුරටත් සාකච්ඡා කිරීම ඵල රහිත බව අපි දනිමු. නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවන බව ද අපි ඒ හිමියන්ට සිහිපත් කළ යුතුය.

මාර්ගයක් වසා දැමීමට හාමුදුරුවන්ට නීත්‍යානුකූළ අයිතියක් තිබේ ද ?

මේ පිළිබඳ අපි උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණී තෙන්නකෝන් අමතා විස්තර විමසූවෙමු. ඔහු මෙසේ කීවේය.

“හාමුදුරුවෝ ගෙට්ටුවක් දාලා පාර වහලා තියෙන්නේ. මේ පාරට වරින් වර රජයේ ප්‍රතිපාදන වෙන්කරලා තියෙනවා. නමුත් පන්සලේ ඉඩමෙන් තමයි පාර ‍දීලා තියෙන්නේ. දැන් හාමුදුරුවෝ අර ගේට්ටුවට දාපු ඉබ්බාගේ යතුරු 15ක් ගමේ අයට දීලා. ශබ්ද විකාශනවලට විරුද්ධ වූ පවුලට සහ තවත් පවුල් දෙකකට දීලා නෑ. මේ වසා දමා තියෙන කොටස සභාවේ මාර්ගයක් හැටියට ගැසට් කරලා නැහැ. මේ ගැන අපි පළාත් පාලන කොමසාරිස්වරයාට වාර්තා කළා.”

ධ්‍යම පළාතේ පළාත් පාලන ක‍ොමසාරිස් මේනක හේරත් මෙසේ කීවේය.

“මට මේ ගැන තවම වාර්තා වෙලා නැහැ. ලිපිය නොලැබෙන්නට ඇති. නමුත් පන්සලක ඉඩමක් වුණත් හාමුදුරුවෝ එය ප්‍රාදේශීය සභාවට පවරා දී රජයේ ප්‍රතිපාදනත් වෙන්කර තිබෙනවානම් නැවත හාමුදුරුවෝ ගේට්ටුදාලා වසා දැමීම බරපතල ප්‍රශ්නයක්. ඒක වැරදිය. මේ ගැන මා සභාපතිතුමා සමඟ කතා කරලා සොයා බලන්නම්. මම තවම දන්නේ නැහැ.”

විවිධ පැතිවලට යොමුවන ලිපි

ප්‍රදේශයේ ජනතාවට මේ විහාරස්ථානයේ ඝෝෂාකාරී ශබ්දය මහත් පීඩාවක් බව සත්‍යයක් වුව ද විහාරස්ථනය සතුව ඇති බලයත් සහකාර පොලිස් අධිකාරීවරය පවසන පරිදි ආගමට විරුද්ධ වීමත් යන කරුණු හේතුවෙන් ඔවුහු මේ හිරිහැරය ඉවසා සිටිති.

ජනාධිපතිවරයා‍ වෙත යොමුකළ ලිපිය සම්බන්ධයෙන් කරුණු සළකා බලන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත. එයට පිළිතුරක් මෙතෙක් නැත. ජනාධිපතිවරයාට යැවූ ලිපියේ පිටපතක් පැමිණිලිකරු විසින් දිස්ත්‍රික් ලේකම්වරයාට යොමුකර ඇති බැවින් දිස්ත්‍රික් ලේකම්වරයා මේ පිළිබඳ සොයා බලන ලෙස ‍මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට යොමුකර තිබේ. තවද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ද මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස උඩුනුවර ප්‍රාදේශීය ලේකම් වෙත දැනුම් දී තිබේ.

සියලු ලිපිවලින් පැහැදිලිවන්නේ සෑම ආයතනයක්ම තම වගකීම ඉටුනොකර එය වෙනත් අය වෙත යොමුකරමින් ඇඟ බේරාගන්නා බවයි.

මධ්‍යම පරිසර අධිකාරියේ ස්ථාවරය

මේ සම්බන්ධව අපි මධ්‍යම පරිසර අධිකාරියේ උසස් නිලධාරියකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මෙවැනි කතාවකි.

“පොලිසිය හැම තිස්සෙම තමන්ගේ වගකීම ඉටු නොකර අපිට එවනවා. ශබ්ද විකාශනය යන්ත්‍රවල ශබ්දය මැන බැලීමක් අවශ්‍ය වන්නේ නෑ. මේ රටේ නීතිය අනුව කිසිම ආගමික සිද්ධස්ථානයක ශබ්ද විකාශන යන්ත්‍ර සවිකරන්න අවශ්‍ය නෑ, එයාලට කරන්න තියෙන්නේ ඒවා ගලවලා අධිකරණයට ඉදිරිපත් කරන්න. අපි ශබ්දය මැන දෙන්නේ ශබ්ද විකාශන යන්ත්‍රවලට පරිබාහිර වෙනත් ශබ්ද ප්‍රභවයන්ගේ. පොලිසිය අපිට එවන්නේ නැතිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ”

රටේ නීතියට පටහැනිව පන්සල්වලට කටයුතු කරන්න බෑ

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුමගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.

“කිසිම බෞද්ධ විහාරස්ථානයක ශබ්ද විකාශන යන්ත්‍ර දාන්නවත් පිරිත් ඒවායෙන් විකාශය කරන්නවත් අපි උපදෙස් දීලා නැහැ. මහජනයාට පීඩාකාරී ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර පවත්වාගෙන යන්නත් බැහැ. පොලිසිය නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අපෙන් විමසන්න අවශ්‍ය නැහැ. විශේෂ උත්සව අවස්ථාවලදී පවා ශබ්ද විකාශන යන්ත්‍ර සවිකරනවානම් මේ රටේ නීතිය අනුව බලපත්‍රයක් ගත යුතුමයි”

ත්‍රිපිටකයේ සඳහන් ශබ්දය

හාමුදුරුවන් පවසනනේ බුදුන්ගේ ධර්මය ටිකක් ශබ්දයෙන් ඇසුවාට ඇති ගැටලුව කුමක් ද යන්නයි.

සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ සන්දක සූත්‍රයේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයන් නිශ්ශබ්දතාව අගයකරන්නන් බව පැහැදිලිව දක්වා ඇත. ඒ සන්දක නම් පරිභ්‍රාජකයා හමුවීමට ආනන්ද හිමියන් වැඩම කළ අවස්ථාව හා සම්බන්ධ කතා වස්තුවේ දී මේ බව ප්‍රකාශ වෙයි.

නමුත් දැන් සිදුවෙමන් පවතින්නේ හාත්පසින්ම වෙනස් දෙයකි.

ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක්

නීතිවේදීන් පවසන්නේ මේ කරුණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට ලිපියක් මගින් කරුණු වාර්තා කළ යුතු බවයි. එහි දී පොලිසිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකර අධිකරණයට අපහාසයක් සිදුකරන බව දැන්ම් දෙන ලෙස ද නීතිවේදීන් පවසයි. “ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව” මහනුවර කැලියල්පිටිය විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තාකිරීමට කටයුතු සූදානම් කරමින් සිටියි.

මාර්ගය වසා දමා ඇති අකාාරය

5 COMMENTS

  1. ඇයි පොලිසිය ජනතාව රවටන්නේ. බණ්ඩාරවෙල කාලි දෙවොල ශබ්ද ගැන පලවු වහාම ශබ්ද විකාශන යන්ත්‍ර 4 ගලවා දැමුවා ත් බෆල් වලින් කරන ගොෂාව නතර කරලා නැහැ. HQI දෑනුවත් කලත් කිසිවක් අඩු නැහැ.

  2. මේක නම් මුළු රටටම තියන කරදරයක්. මිනිස්සුන්ට බලෙන් පිරිත් අස්සවන්න උවමනා නෑ.ඕනෑමනම් තමන්ගේ දුරකථන යෙන් උනත් ඕන කෙනෙකුට අහගන්න පුළුවන් කාලයක්.පාඩම්කරන දරුවො ඉන්නවා/ලෙඩ ඇඳේ ඉන්න අය ඉන්නවා/අන්‍ය ආගමික අය ඉන්නවා/ ඉතාමත් කුඩාම දරුවො ඉන්නවා/මේවා අදාළ පූජනීය ස්ථන පරිශ්‍රයට පමනක් ඇසෙන පරිදි දාගත්තා නම් ඉවරයිනේ. මොළයක් නැති ජීවත් වෙන්න විදියක් නැතුව මහන වෙච්ච කහකඩයෝ.

  3. මෙය ඇත්තටම බරපතළ ගැටලුවක් .මේ අමු අමුවේ උල්ලංඝනය කරන්නේ රටේ නිතිය .මිනිස්සු පැමිනිලි නොකරන්නේ ඔය නිසා.නිතිය ක්‍රියාත්මක නොකර මිනිස්සුන්ට පැමිනිලි එපාවෙන තත්වයට පත්කරනවා.පැහැදිලි නිතියක් තිබියදි මේසේ කිරිම අපරාදයක්.

  4. මේ යකඩ කට නිසා මගේ අහිංසක දරුවන් දෙදෙනා ඇතුලු අප පවුලේ සියලු දෙනා දීර්ඝකාලීනව දිනපතා අමු අමුවේ විඳවනවා.අපේ රටේ මහජන ධනයෙන් වැටුප් ලබා නීතිය ක්‍රියත්මක කිරීමට බැදීසිටින පොලිසිය දැන් අම්මගෙ රෙද්දේ සදාචාරය ගැන කතා කරනවා.එතොකොට මෙච්චර කල් දිනපතා උදේ හවස මගේ අහිංසක දරු දෙදෙනා සමඟ අප මෙතනට වී විදිනා දුක මං 46 වතාවක් ම පොලිසියට පැමිණ කිව්වත් වැඩක් උනේ නැත්තේ පොලිස් නිලධාරීන්ගේ ඔය කියන සදාචාරය නිසාද?නැත්නම් පොලිසියට කොන්ද පණ නැති කමද

Leave a Reply to Udichchiyawattage Abayakumara Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!