රටට විදේශ සංචාරකයන් ආකර්ශනය කරගැනීමට බව පවසමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් නිර්දේශ නිකුත් කිරීම දැඩි ලෙස හෙළා දකින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමය මේ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ලිඛිතව දැනුම් දී ඇත.
විදෙස් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ දී පීසීආර් පරීක්ෂණ කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සහිත රසායනගාරයක් රජය විසින් ගුවන්තොටුපොළ් පිහිටවූව ද එය තිබිය දී පවා රටට පැමිණෙන විදේශිකයන්ට එසේ පැමිණීමට පැය 72කට පෙර ලබාගත් පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල සහ එන්නත් මාත්‍රා දෙක ලබාගත් බවට ඇති සහතිකයක් ප්‍රමාණවත්යැයි යන නිර්දේශය ගැටලු සහගත බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
එමගින් රටට භයානක ප්‍රතිඵල ඇතිවිය හැකි බවත් විශාල වියදමක් දරා ඉදිකළ රසායනාගාරය ප්‍රයෝජනයට නොගැනීම අනිවර්ය පීසීආර් පරීක්ෂණ ඉවත්කිරීම කිසිම විද්‍යාත්මක පදනමක් මත ගත් තීරණයක් නොවන බව ද එම සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට අවධාරණය කර තිබේ.
ඔවුන් පෙන්වාදෙන්නේ මෙලෙස සංචාරකයන් ආකර්ශනය කරගැනීමට යැයි පවසමින් අනිවාර්ය පීසීආර් පරීක්ෂණය ඉවත්කිරීම නව කොරෝනා වයිරස ප්‍රභේද රටට ඇතුළුවීමේ අවදානම තවදුරටත් වර්ධනය කරන්නක් බවයි. එමගින් රෝග පාලනය කිරීමේ හැකියාව ගිලිහී යාහැකි බව ද දැනට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය අවදානමකට ලක්වීම ද සිදුවන බව එම ලිපියේ සඳහන් කර තිබේ.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ මෙම මාර්ගෝපදේශ වෙනස් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් රටේ තීරණ ගැනීම සම්බන්ධ වගකිවයුතු පුද්ගලයන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමඟ සමාලෝචනයක් කිරීම අත්‍යාවශ්‍ය බවයි.