කොළඹ වරායේ බටහිර පර්යන්තය (CWIT) ඉදිකිරීම සඳහා ඉන්දියාවේ අදානී සමාගම සහ ශ්‍රී ලංකා නියෝජිත ජෝන් කීල්ස් සමාගම සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අද (30) ගිවිසුම් අත්සන් කළේය.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් එහි සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල හා කළමණාකාර අධ්‍යක්ෂ උපුල් ජයතිස්ස ද අදානී පෝර්ට්ස් ඇන්ඩ් ලොජිස්ටික්ස් සමාගම වෙනුවෙන් එහි සභාපති සන්දීප් මෙහෙතා Online ක්‍රමයට ඉන්දියාවේ සිට ද, ජෝන්කීල්ස් සමාගම වෙනුවෙන් එහි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර ද අත්සන් තැබූහ. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ ද Online ඔස්සේ ඊට සහභාගි විය.
ඇමෙරිකානු ඩොලර් මිලියන 700කට අධික අයෝජනයක් මේ සඳහා සිදුකිරීමට නියමිය. එය මෙරට වරාය ක්ෂේත්‍රයේ සිදුකරනු ලබන විශාලතම ආයෝජනය ලෙස ද සැළකේ. ඉදිකොට මෙහෙයුම් සිදුකර නැවත පවරාදීම (BOT) ලෙස මෙම ගිවිසුම ක්‍රියාත්මක වන අතර එහි කාලය වසර 35කි.
මෙම ගිවිසුම අනුව බටහිර පර්යන්තයේ කොටස් හිමිකාරීත්වය 51%ක් ඉන්දියාවේ අදානි සමාගමටත්, 34%ක් ඔවුන්ගේ මෙරට නියෝජිත ආයතනය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගමටත් හිමිවන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%ක හිමිකාරීත්වයක් ඇත.
වරාය අධිකාරිය පවසන්නේ මෙම පර්යන්තයේ ඉදිකිරීම් හේතුවෙන් කොළඹ වරායේ වාර්ෂික බාහලුම් මෙහෙයුම මිලියන තුනකින් ඉහළ යන බවයි.
මෙම අවස්ථාවට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් ඇතුළු නිළධාරීන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල, උප සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න, කළමණාකාර අධ්‍යක්ෂ උපුල් ජයතිස්ස ඇතුළු නිළධාරීන් ද සහභාගී විය.