නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීමට තීරණය කර ඇතත් කොරෝනා වයිරසය සමාජය තුළ සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් තවමත් තිබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි.
වෛද්‍යවරිය මේ බව කියා සිටියේ අද (29) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි. ඇඳිරිනීතිය ඉවත්කළ ද පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක විය යුතු බව ද වෛද්‍ය පද්මා ගුණරත්න කීවේය.
ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.
“නැවත කොරෝනා රැල්ලක් නොපැමිණීමට අපි සියලු දෙනාම වගබලාගත යුතුයි. නැවතත් කොරෝනා රැල්ලක් ඇතිවුවහොත් අපි ඊට ඔරොත්තු නොදීමට ඉඩ තිබෙනවා. රටේ ජනතාවගෙන් 70%ක් පමණ එන්නත්කරණයට යොමු කිරීමටනම් වයස අවුරුදු 20ට වැඩි අය සියලු දෙනා එන්නත් කළ යුතුයි. වයස අවුරුදු 20ට වැඩි අයගෙන් 20%ක් එන්නත්කරණයට යොමු වි නෑ. මේ නිසා කොරෝනා වසංගතයේ තවත් රැල්ලක් හිස එසවීමේ දැඩි අවදානමක් තිබෙනවා. අපි අත්දැකීමෙන් දන්නවා පළාත් අතර සංචරණයට අවසර ලැබුණොත් කණ්ඩායම් වශයෙන් වන්දනා ගමන්, විනෝද චාරිකා යාමට අපේ ජනතාව පෙළඹෙනවා. මේ නිසා රට විවෘතකිරීම ක්‍රමවත්ව සෙමෙන් සෙමෙන් කළ යුතු දෙයක්.”
මේ අනුව අන්තර්පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.