spot_img
spot_imgspot_img

මාධ්‍ය දඩයම් කරමින්, දූෂිතයන් රැකීමේ රජයේ ක්‍රියාව මාධ්‍ය සංවිධාන විසින් හෙළා දකියි

පුවත්

විදෙස්

සුදු ලූනු වංචාව සහ වෙනත් දූෂණ වාර්තා කළ මෙරට මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් පරීක්ෂනයක් සඳහා බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට කැඳවීම දැඩි සේ හෙළා දකින බව මාධ්‍ය සංවිධාන එකමුතුව ‍නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා අස්වූ එහි හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන විසින් හෙළි කරන ලද කරුණු ලංකාදීප, දිවයින හා දි අයිලන්ඩ් පුවත්පත් වාර්තා කර තිබිණි.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය වෙනුවෙන් එහි ලේකම් ධර්මසිරි ලංකාපේලි, නිදහස්  මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත්, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ සභාපති එන්.එම්.අමීන්, දෙමළ මාධ්‍ය සංසදයේ ලේකම් කනපතිපිල්ලේ සර්වානන්ද සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ඉඳුනිල් උස්ගොඩආරච්චි මෙම මාධ්‍ය නිවේදනයට අත්සන් තබා ඇත.

හෙළදරව් කරන ලද දූෂණ පිළිබඳ පරීක්සණ සිදුකිරීම වෙනුවට අමාත්‍ය බන්දුල ගුණවර්ධනට සිදුව ඇතැයි කියන අපහාස සම්බන්ධයේන පරීක්ෂණ පැවැත්වීමට මාධ්‍යවේදීන් කැඳවීම නීත්‍යානුකූල නොවන බවද එම නිවේදනයේ දක්වා ඇත.

2002 වර්ෂයේ දී සාපරාධී අපහාස නීතිය අහෝසිකර ඇති තත්වයක දී නීත්‍යානුකූල පදනමක් නොමැතිව දේශපාලන වුවමනාවට පොලිසිය යොදා ගනිමින් මාධ්‍යවේදීණ් බිය ගැන්වීම සිදුකරමින් පවතින බව මාධ්‍ය සංවිධාන එකමුතුව පෙන්වා දෙයි.

මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොකැඳවන ලෙස අගමැතිවරයා උපදෙස් දී තිබිය දී එහි නිලධාරීන් පිරිසක් ලංකාදීප කාර්යාලයට පැමිණීම ද දේශපාලන වුවමනාවක් මත මාධ්‍යවේදීන් බියගැන්වීමට හා දඩයමට පොලිසිය මෙහෙයවීමක් බව ද මාධ්‍ය සංවිධාන පෙන්වා දී ඇත.

ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව ප්‍රකාශකර තිබුණ ද ඉන් සෑහීමකට පත්නොවන බව ද මාධ්‍ය සංවිධාන එකමුතුව නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත.

“ජනමාධ්‍යයේ වගකීම වංචා හා දූෂණ හෙළිදරව්කිරීමයි. මාධ්‍ය විසින් කරනු ලබන එවැනි හෙලිකිරීම්වලට අදාල පරීක්ෂණ සිදුකර නීතිය ක්‍රියාතම්ක කළ යුතු වුවත් එහෙත් මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හා දඩයමට උත්සාහ දැරීම ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමෙන් ද එහා ගොස් දූෂිතයන්ට රැකවරණය සැළසීමේ හා දූෂණ වංචා නොතකා හැරීමේ ක්‍රියාවලියක් දක්වා වර්ධනය වීමට ඉඩ තිබේ.” යනුවෙන් එම නිවේදනයේ දක්වා ඇත.

එබැවින් දේශපාලන වුවමනාවන් හේතුවෙන් සිදුවන මෙවැනි ක්‍රියාවන් දැඩි ලෙස හෙළා දකින බවත් මාධ්‍යවේදින්ගේ අයිතීන් වෙනුවෙන් එක්ව කටයුතු කරන බවත්, වංචා හා දූෂණ පිළිබඳ සැබෑ තොරතුරු දැනගැනීමට ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කරන බවටත් මාධ්‍යවේදී සංවිධාන එකමුතුව ප්‍රතිඥා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!