කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 39024ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,662ක් බවට වාර්තා විය.
අද සමස්ත කොටස් මිල දර්ශකය ඉතිහාසයේ වැඩිම අගය වූ 9,446ක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 69කින් ඉහළ ගොස් 9,339ක් බවට පත්විය.
වැඩිම දෛනික පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,201යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 992යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 555ක් ලෙස ද , වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 100ක් ද, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 37ක් ද, ගලදාරී හෝටල් සමාගම කොටස් මිලියන 29ක් ද ප්‍රධාන විය.
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර ගලදාරී හෝටල් සමාගම කොටසක් 20%කින් ද, එච්එන්ඩී (ඡන්ද බලය රහිත) 11%කින් ද සිංහ පුත ෆයිනෑන්ස් සමාගම 11%කින් ද කැපී පෙණිනි.
සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර හේලීස් සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 106.75 බැගින් ද, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් ලක්ෂ 50ක් රුපියල් 9.90 බැගින් ද, ජෝන් කීල්ස් සමාගම කොටස් 1,625,000ක් රුපියල් 139.00 බැගින් ද ගනුදෙනු විය.
දිනයේ විශේෂ කොටස් හුවමාරුවක් ලෙස ගලධාරී හෝටල් සමාගමේ කොටස් ලක්ෂ 135ක් රුපියල් 10.00 බැගින් හුවමාරු විය.
දිනය අවසන්වන විට කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 381ක වත්කමක් වාර්තා කළ අතර එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 277ක් ද කමර්ෂල් ලීසිං සමාගම රුපියල් බිලියන 193ක් ද වශයෙන් වාර්තා කර තිබේ.
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ සියලුම සමාගම්වල සමස්ත වටිනාකම රුපියල් බිලියන 4,153ක් වීම විශේෂත්වයකි.
විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 21ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 317ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස අද දිනයේ ද රුපියල් මිලියන 296ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.
2021 වර්ෂයේ දී පමණක් අද දිනය දක්වා රුපියල් බිලියන 44.31ක මුදලක් විදේශීය ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබේ.
අද දිනයේ විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර බලන්ගොඩ වැවිළි සමාගම මිලියන 2.8යි, සීඅයිසී (ඡන්ද බලය රහිත) මිලියන 1.8යි, එක්ස්‍පෝ ලංකා සමාගම මිලියන 1.7යි ලෙස ද විදේශ ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 135යි, ගලදාරී සමාගම රුපියල් මිලියන 135යි, එච්එන්බී බැංකුව රුපියල් මිලියන 11.8ක් ලෙස ප්‍රමුඛ විය.
දැනට පවතින සංචරණ සීමාවන් ඔක්තෝබර් 01 වැනි දින ඉවත්කරනු ඇතැයි විශ්වාසය මත ද කොවිඩ් රෝගීන්ගේ අඩුවීම, එන්නත්කරණය වේගවත් වීම, සංචාරකයන් සඳහා හෝටල් නිරෝධායන නීති ඉවත්කිරීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ අපනයන සමාගම්වල සහ සංචාරක ක්ෂේත්‍රයේ සමාගම්වල කොටස් මිල ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාම ප්‍රවණතාවක් දක්නට ලැබේ.
එමෙන් ම ඉතා කෙටි කාල සීමාවක් තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය ඒකක 10,000 ඉක්වමවනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළකර සිටියි.
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ