spot_img
spot_imgspot_img

වත්තල පොලිසියට මැරයන් රිංගලා යැයි චෝදනා. ඡායාරූප ගත්තා යැයි පොලිසියෙන් යතුරුපැදිකරුවන්ට කෙනෙහිළි ?

පුවත්

විදෙස්

වත්තල දී යතුරුපැදිකරුවන් කිහිප දෙනකුට තුවාල සිදුකරමින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය හා සම්බන්ධ මැරයන් වත්තල පොලිසියේ ගැවසෙන බව සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය චෝදනා කරයි.

ඔවුන් මේ බව නිරීක්ෂණය කර ඇත්තේ අද (28) යතුරුපැදිකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වත්තල පොලිසියට ගිය අවස්ථාවේ දී ය.

එලෙස පොලිසියට ගොස් තමන් පොලිසියෙන් පිටත රැඳී සිටි අවස්ථාවේ දී අදාල පහරදීමේ සිද්ධියේ සැකකරුවකු සිවිල් ඇඳුමින් සැරසී පොලිසියෙන් පිටතට පැමිණි බවත් තමන් ඔහුගේ ඡායාරූපයක් ගත් බවත් සමස්ත යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ පවසයි.

සිවිල් ඇඳුමින් සැරසී සිටි එම පුද්ගලයාගේ ඡායාරූපයක් ගැනීමෙන් පසු වත්තල පොලිසියේ නිලධාරීන් විසින් එහි ගොස් සිටි යතුරුපැදිකරුවන්ගේ ජංගම දුරකථන අනවසරයෙන් පරීක්ෂා කරන බවත් එය නීති විරෝධී බවත් අමරසිංහ කීවේය

“මේ අවස්ථාවේ දී මම පොලිස් නිලධාරියකුගෙන් ප්‍රශ්න කළා. අපි දැනටමත් ඒ පුද්ගලයාගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරලා තිබෙනවා. එදා 12 වැනි දා අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය පොලිස්පතිවරයාට පැමිණිලි කළත් තවමත් නිසි පරීක්ෂණයක් සිදුවන්නේ නැහැ. එදා ආ මැරයන් යැයි සැකකරන පුද්ගලයන් කොහොමද වත්තල පොලිසියේ ගැවසෙන්නේ. ඡායාරූප ගත්තේ මම ඉන් පසු පොලිස් නිලධාරීන් අනෙක් තරුණයන්ගේ ජංගම දුරකථන අරගෙන පරීක්ෂා කරනවා. එලෙස පරීක්ෂා කළ නොහැකියි. ඒ සඳහා අධිකරණ නියෝගයක් තිබෙන්න ඕනෑ. නැතිනම් පරිගණක අපරාධ අංශයෙන් එය සිදුකළ යුතුයි. පොලිසිය කටයුතු කරන්නේ නීතිය පටහැනිවයි”

අපි මේ පිළිබඳ වත්තල පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ පහර දීමේ සිද්ධියට සැක පුද්ගලයකු වත්තල පොලිසියේ සිටියායැයි කියන කතාවක් තමන්ට ද දැනගන්නට ලැබුණු බවයි. ඒ පිළිබඳ සොයා බලන බව ද ඔහු කීවේය. ජංගම දුරකථන පරීක්ෂා කිරීමේ කතාව ගැන තමන් නොදන්නා බවත් ඒ ගැන සොයා බලන බවත් කී ස්ථානාධිපිතවරයා වැඩිදුරටත් කියා සිටියේ සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මේ සම්බන්ධයේන තමන් හමුවී සාකච්ඡා කළානම් සුදුසු බවයි.

පසුගිය 12 වැනි දා වත්තල, අවරකොටුව, ගෑස් පාර, වැලිකන්ද යන ස්ථානයේ දී පොලිස් නිල ඇඳුමින් සිටි නිලධාරීන් සහ සිවිල් ඇඳුමින් සිටි මැර පිරිසක් යතුරුපැදිකරුවන් කණ්ඩායමකට හා තවත් පුද්ගලයන් පිරිසකට අමානුෂික ලෙස පහරදී තුවාල කර ඇති බවත්, එම අවස්ථාව පටිගත කළ ජංගම දුකරථන ද විනාශ කර දමා ඔවුන්ගේ රියදුරු බලපත්‍ර ද කඩා දමා ඇති බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

එම අවස්ථාවේ දී ඔවුන්ගේ යතුරුපැදි පෙරළා දමා පොළුවලින් පහර දෙමින් ඒවාට අලාභහානි කර ඇති බව ද ඔවුන් සඳහන් කර තිබේ.

සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසන්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පැවසුව ද එදා පහර දීමට පැමිණි මැරයන් යැයි සැකකරන පුද්ගලයකු සිවිල් ඇඳුමින් සැරසී වත්තල පොලිසියේ ගැවසීම ගැන තමන්ට බරපතල සැකයක් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයැයි ඔවුහු ඉල්ලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!