-5.9 C
New York

කොටස් වෙළෙඳ පොළ දින කිහිපයකට පසු සුළු වර්ධනයක් පෙන්වයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 18,850ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,560ක් ලෙස සටහන් විය.

අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 17කින් ඉහළ ගිය අතර එය දිනය අවසානයේ ඒකක 8,788ක් බවට පත්විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනු දෙනු වූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 580යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 408යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 257ක් ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලයන 28යි, සිට්‍රස් ලෙෂර් සමාගම කොටස් මිලියන 06යි, ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 04යි ලෙස කැපී පෙණිනි.

‍සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගමේ කොටස් මිලියන 3.4ක් රුපියල් 131.50 බැගින් ද සම්පත් බැංකුව කොටස් මිලියන 4.1ක් රුපියල් 49.50 බැගින් ද සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම (ඡන්ද බලය රහිත) කොටස් 40,000ක් රුපියල් 940.00 බැගින් ද රේණුකා හෝටල් සමාගම රුපියල් 99.00 බැගින් කොටස් 403,000ක් ද හුවමාරු විය.

අද දිනය තුළ වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිළ ඉහළ ගිය සමාගම් අතර ඔටෝඩ්‍රොම් සමාගම 17%කින් ද, බ්ලූ ඩයමන්ඩ් සමාගම 14%කින් ද යෝර්ක් ආකේඩ් සමාගම 11%කින් ද කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි වැඩිම වටිනාකමක් සහිත සමාගම ලෙස රුපියල් බිලියන 325ක වත්කම් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද රුපියල් බිලියන 240ක වත්කම් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද පත්ව සිටියි.

විදේශීය ආයෝජකයන් විසින් අද රුපියල් මිලියන 520ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 599ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් විදේශීය ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 79ක මුදලක් ඉවත්කරගෙන ඇත.

මෙම වසර තුළ අද දිනය දක්වා විදේශ ආයෝජකයන් විසින් රුපියල් බිලියන 43.213ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉත් කරගෙන තිබේ.

අද ගනු දෙනු අතරතුර දී හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත කොටස් මිල තාවකාලික ඉහළ යාමක් වාර්තා වන අතර මෙම සතිය තුළ දී මිල වැඩි වීමට ඉඩ ඇති බැවින් කිරිපිටි, සිමෙන්ති, ගෑස් සමාගම්වල කොටස් මිල තවදුරටත් ඉහළ යා හැකි බව ද ආයෝජකයන් විශ්වාසය පළකරයි.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img