නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලයේ දී පොත් අළෙවි සැල් විවෘත කිරීමට අවසර දෙන ලෙස පොලිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීක් කර තිබේ.
පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මෙම ඉල්ලිම කර ඇත්තේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර සමරසිරි විසින් කරන ලද ලිඛිත ඉල්ලීමක් අනුවය.
එම සංගමය පවසා ඇත්තේ වසර එකහමාරක පමණ කාලයක සිට අවස්ථා කිහිපයක දී ම පොත් අළෙවිසැල් වසා තැබීමට සිදුවීම හේතුවෙන් ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රය බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බවයි. එමෙන්ම පොත් අළෙවි සැල් අඛණ්ඩව වසා තැබීමෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද බාධාවක් සිදුවන බව එම සංගමය පවසයි.
මේ කරුණු සැළකිල්ලට ගනිමින් සංචරණ සීමා බලපැවැත්වෙන කාල සීමාවේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් හා අධීක්ෂණය සහිතව පොත් අළෙවි සැල් විවෘතකිරීමට අවසර දෙන්න යැයි පොලිස්පතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා ඇත.



