කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ දී ගනුදෙනු 20,040ක් වාර්තා කරමින් මෑත කාලීන ඉතිහාසයේ අඩුම දෛනික පිරිවැටුම වන රුපියල් මිලියන 1,708ක් වාර්තා කරන ලදී.
සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 31කින් පහළ ගිය අතර එය දිනයේ ගනුදෙනු අවසානයේ ඒකක 8,770ක් ලෙස වාර්තා විය.
වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනු දෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 295යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 287යි, සම්පත් බැංකුව රුපියල් මිලියන 171යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 31යි, එස්එන්බී ලීසිං සමාග කොටස් මිලියන 09යි, සිට්‍රස් ලෙෂර් කොටස් මිලියන 08යි ලෙස ද කැපී පෙණිනි.
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර එස්එන්බී ලීසීං (ඡන්ද බලය රහිත) 50%කින් ද කැන්ඩි හෝටල් සමගාම 17%කින් ද, බ්‍රවුන්ස් බීච් හෝටල් සමාගම 17%කින් ද ප්‍රධාන විය.
එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 319ක වත්කම් වාර්තා කරමින් අද දිනයේ ද පළමු ස්ථානයට පත්වූ අතර එල්ඔඑල්සී සමාගම රුපියල් බිලියන 239ක වත්කම් වාර්තා කරමින් දෙවැනි ස්ථානයට ද පත්ව තිබේ.
සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම් අතර සම්පත් බැංකුව කොටස් මිලියන 03ක් රුපියල් 49.70 බැගින් ගනු දෙනු විය.
විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 27ක කොටස් මිල දී ගෙන ඇති අතර, රුපියල් මිලියන 28ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 01ක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.
මේ වසරේ ජනනවාරි මස 01 වැනි දා සිට අද දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් විදේශ ආයෝජකයන් විසින් රුපියල් බිලියන 43.134ක මුදලක් ඉවත්කරගෙන ඇත.
කොළඹ කොටස් වෙළෙඳ පොළ කොටස් ගනුදෙනු වල දී එදිනෙදා කොටස් ගනුදෙනු කරන (Traiders) අයගේ පැහැදිලි අඩුවක් දක්නට ලැබුණු අතර මෙසේ කොළඹ කොටස් වෙළෙඳ පොළේ එදිනෙදා ගනුදෙනු අඩුවීම හේතුවෙන් ප්‍රධාන ලෙස දෛනික පිරිවැටුම ඉතා අඩු ප්‍රමාණයක් වාර්තා වීම කැපී පෙනෙන ලක්ෂණයක් වෙයි.
එමෙන් ම චීනයේ බැංකු පද්ධතිය ආශ්‍රිත වෙළෙඳ පොළේ ඇතිවී තිබෙන Evergrande මූල්‍ය අර්බුදය හේතුවෙන් චීන බැංකු පද්ධතිය විසින් ගෙවිය යුතුව ඇති ඩොලර් බිලියන 300ක මුදල නොගෙවා සිටීම හේතුවෙන් එම මුදල් ලැබීමට නියමිත කොන්ත්‍රාත්කරුවන්, බැංකු, මූල්‍ය ආයතන සහ අනිකුත් ව්‍යාපාර මෙන් ම මහල් නිවාස යෝජනා ක්‍රම පවා දැඩි අර්බුදයකට මුහුණ පා සිටී.
මෙම ගැටලුව හේතුවෙන් චීන සමාගම් ව්‍යාපාරවල නිරතවන බොහෝ රටවල ගැටලු ඇතිවී තිබෙන බව පෙනී යන නමුත් එම අර්බුදය විසඳීම සඳහා ලෝකයේ දැනට විශාලතම විදේශ විනිමය සංචිතය වන ඩොලර් බිලයන 3200ක් හිමි චීන රජය විසින් අද දිනයේ පමණක් චීන බැංකු වෙත ඩොලර් බිලියන 100ක මුදලක් මුදාහැර තිබේ.
මෙම අර්බුදය ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළ ආශ්‍රිත ව්‍යාපාර කෙරෙහි වැඩි බලපෑමක් ඇති නොකරනු ඇතැයි මූල්‍ය විශ්ලේෂකයන් අනාවැකි පළකරයි. ඊට හේතු වන්නේ කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජන හෝ ව්‍යාපාර සෘජුව සිදුකරන හෝ චීන සමාගම් ප්‍රධාන ලෙස දක්නට නොවීමයි.
ශ්‍රී ලංකාවේ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති මිල මේ සතිය තුළ ඉහළ දැමීමට සිදුවන බව රජය විසින් නිවේදනය කිරීමත් සමඟ එම භාණ්ඩ ආශ්‍රිත කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලියාපදිංචි ව්‍යාපාරවල කොටස් මිල ක්ෂණිකව ඉහළ යනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළකර සිටියි.
(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)