ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් ඉටුකළ කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ ඩබ්ලිව්.ජී.ගුණරත්න අද (17) අළුයම අභාවප්‍රාප්ත වූයේය.
මාතර තිහගොඩ උපන් ඔහු මියයන විට 83 හැවිරිදි වියේ පසු වූයේය. ඩල්සි ගුණරත්න හා විවාහ වී නිමාලි, නදී, ප්‍රසාද් සහ දර්ශන නමැති දරුවන් සිව් දෙනකුගේ පියෙකි. ඔහු මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ලේක්හවුස් ආයතනයේ තිහගොඩ ප්‍රාදේශීය වාර්තාකරු ලෙස 1967 වර්ෂයේ දී සිය පුවත්පත් ජීවිතය ආරම්භ කළ ඩබ්ලිව්.ජී. ගුණරත්න පසුව “ජනතා” පුවත්පතේ මාණ්ඩලික වාර්තාකරුවකු ලෙස ලේක්හවුස් ආයතනයේ ස්ථිර රැකියාවට සම්බන්ධ වූයේය.
ඉන් පසු, දිනමිණ පුවත්පතට සම්බන්ධ වී එහි ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස ද කටයුුත කළ හෙතෙම, Sunday Obsever පුවත්පතේ ද සේවය කළ අතර සිළුමිණ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස ද කටයුතු කළේය. මේ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ මාධ්‍ය ඒකකයේ ද සේවය කළ ඔහු පසුව ලංකාදීප පුවත්පතට හා සම්බන්ධ වී දීර්ඝ කාලයක් එහි ප්‍රාදේශීය ප්‍රවෘති කර්තෘවරයා ලෙස කටයුතු කළේය. lankadeepa.lk වෙබ් අඩවියේ ආරම්භක ප්‍රධාන කර්තෘවරයා වූයේ ද ඩබ්ලිව්.ජී.ගුණරත්නය.
සිංහල සහ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණයකු වූ ගුණරත්න මෙරට පුවත්පත් කලාවේදීන් රැසකගේ ගුරුවරයකු ලෙස පිළිගැනේ.
මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ ප්‍රාදේශීය වාර්තාකරු ලෙස සිය පුවත්පත් කලාවේදී වෘත්තියට පිවිසි ඔහු මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කරන ලද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ලෙස පිළිගැනීමට ලක්ව ඇත.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටලු සම්බන්ධයෙන් නිරන්තර පෙනී සිටි හෙතෙම ඔවුන්ට ලබා දෙන දීමනා ප්‍රමාණවත් නොවන බවත්, එම දීමනා ඉහළ දැමිය යුතු බවත් තරයේ ප්‍රකාශ කළ අයකු වන අතර ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ ආයතනගත මාධ්‍යවේදීන් අතර කිසිදු වෙනසක් හෝ පරතරයක් නොමැති බවත් පවසමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හුදු වාර්තාකරණයට පමණක් සීමා නොවිය යුතුයැයි පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි.
කලක් රෝගාතුරව සටි ඔහු දින කිහිපයකට පෙර කොරෝනා ආසාදිතව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද සිය දිවි ගමන නිමා කළේය.

