දින කිහිපයක් පැවැති හිසරදයක් සුව කිරීමට දේවාලයකට ගොස් ශාන්තිකර්මයක් කරමින් සිටිය දී ඇද වැටුණු 21 හැවිරිදි තරුණියක මියගොස් ඇතැයි හෙට්ටිපොළ පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හෙට්ටිපොළ, කුරටිහේන, මණ්ඩපොළ පදිංචි එච්.එම්.තරුණිකා මධුෂානි නමැති තරුණියකි.
දින කිහිපයක් ම ඇයට හිසරදයක් තිබූ බැවින් ඇගේ සැමියා සහ මව්පියන් එක්ව හෙට්ටිපොළ, මඩයින ප්‍රදේශයේ පිහිටි දේවාලයකට ඇය රැගෙන ගොස් ඇත. එහි දී දේවාලයේ කපුවා විසින් ශාන්තිකර්මයක් සිදුකළ බවත් ඇය පුටුවක වාඩිකර සිටිය දී හදිසියේ ම සිහිසුන්ව ඇද වැටුණු බවත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත.
ඉන් පසු ඇය හෙට්ටිපොළ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම තරුණියගේ මරණය සම්බන්ධව කරන ලද මරණ පරීක්ෂණය 07 වැනි දා කුලියාපිටිය මූලික රෝහලේ දී සිදුකෙරිණි. එහි දී තහවුරු වී ඇත්තේ වයිරස් උණක් සෑදීමෙන් මොළයේ ස්නායු ඉදිමී පෙනහළු අක්‍රියවීමෙන් ඇගේ මරණය සිදුව ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය අපරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ නිලධාරීන් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඇති අතර හෙට්ටිපොළ පොලිසිය වැඩිදුර පරීක්සණ පවත්වයි.