බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ වස්දොස් දුරුකිරීමට ශාන්තිකර්මයක් නොපැවැත්වූ බවත් එහි පැවැතියේ උළුඅහු පැනීමේ කාර්යයක් පමණක් බවත් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් පවසයි.
ඔවුන් මේ බව කියා සිටියේ ඊයේ (08) rata.lk වෙබ් අඩවියේ පළකරන ලද “බණ්ඩාරවෙල මැදි විදුහලේ තොවිල් නටයි. නව විදුහල්පති වස්දොස් යැවීමට ශාන්තිකර්මයක” නමැති පුවත සම්න්ධයෙන් කරුණු පැහැදිළි කරමිනි.
ඔවුන් පවසන්නේ විදුහල්පති කාර්යාලයේ දොරක් වඩාත් පටුව පිහිටා තිබීම හේතුවෙන් එය පුළුල් කිරීමට නව උළුඅස්සක් තැබූ බවයි. එම උළුඅස්ස සවිිකිරීමේ දී සම්ප්‍රදායානුකූලව උළුඅහු පැනීමේ චාරිත්‍රය සිදුකළ බව ද අපට කරුණු පැහැදිලි කළ ආදි ශිෂ්‍ය සංගමයේ විධායක කමිටු සාමාජික විජිත මධුර උඩුවරගෙදර කියා සිටියේය.
එමෙන්ම ඒ පිළිබඳ අදහස් දැක්වූ ආදි ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් ඉරෝෂ් රත්නායක ද කියා සිටියේ එය සාමාන්‍යයෙන් සිදුකරන චාරිත්‍රයක් බවයි.
මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ 1990 – 2000 අතර දී ය. අවුරුදු 30ක පමණ කාලයක් භාවිතා කළ ගොඩනැගිල්ලක උළුඅස්ස හදිසියේ ම පළල මදියැයි ද එය කඩා ඉවත්කර වෙනත් උළුඅස්සක් සවිකිරීමට අවශ්‍ය වූයේ ඇයිද යන්න ගැටලුවකි. නමුත් උළුඅහු පැනීම යන්න මෙරට ජන සමාජයේ පිළිගත් ශාන්ති කර්මයකි. මේ පිළිබඳ විමසීමේ දී මෙරට ප්‍රසිද්ධ ජ්‍යොතිෂ වේදියකු සහ වාස්තු විද්‍යාව පිළිබඳ උපදෙස් ලබාදෙන පුද්ගලයකු කියා සිටියේ ඇතැම් දොරවල්වල විශාලත්වය හා පිහිටීම එම ස්ථානයේ ගෘහ මූලිකයාට හෝ කාර්යාල ප්‍රධානියාගේ ග්‍රහ යෝගවලට නොගැලපෙන බව විශ්වාස කරන අවස්ථාවල දී මෙලෙස උළුඅහු වෙනස් කරන බවයි. එමෙන් ම උළුඅහු පැනීමේ චාරිත්‍රය ශාන්තිකර්මයක් බවත් එය කරන්නේ එම ස්ථානයේ ඇති වස්දොස් දුරුකිරීමේ අරමුණින් බවත් හෙතෙම පැහැදිළි කළේය.
ඒ අනුව අප සඳහන් කර ඇති පරිදි බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිදුකර ඇත්තේ වස්දොස් දුරුකිරීමේ ශාන්තිකර්මයකි.
ආදි ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ප්‍රාදේශීය ලේකම් ඉරෝෂ් රත්නායක කරුණු පැහැදිළි කළ අවස්ථාවේ දී පාසල් ගොඩනැගිල්ලක් ආදි ශිෂ්‍ය සංගමයේ අභිප්‍රාය මත වෙනස් කළ හැකිදැයි අප විමසූ විට ඒ සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අවසර ගත් බව ඔහු කියා සිටියේය.
නමුත් එවැනි අවසරයක් ගෙන තිබේ ද යන්න බණ්ඩාරවෙළ අධ්‍යාපන කාර්යාලයෙන් විමසූ විට එහි නිලධාරියකු කියා සිටියේ බණ්ඩාරවෙල ආදි ශිෂ්‍ය සංගමයේ facebook පිටුවකින් තමන් මෙවැනි දෙයක් දුටුව ද එවැන්නකට කිසිදු අවසරයක් ලබා දී නැති බවයි.
අප විසින් ඊයේ පළකරන ලද ලිපිය පිළිබඳ අදහස් දැක්වූ විජිත මධුර උඩුවරගෙදර කියා සිටියේ විදුහල්පතිවරයා සඳහා නිල නිවස අලුත්වැඩියා කිරීම සහ ඊට අවශ්‍ය උපකරණ පරිත්‍යාගයන් සිදුකරන ලද්දේ ආදි ශිෂ්‍යයන් සිය කැමැත්තෙන් ලබාදෙන ධන පරිත්‍යාගයෙන් බවයි. එම විදුහල්පති නිල නිවසේ ගුරවරයකු සිටි බවත් එම නිල නිවස භාවිතා කළ නොහැකි තරම් ජරාජීර්ණ වී තිබූ බවත් හෙතෙම අප සමඟ කීවේය.
ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් එසේ කීවද 2018 වර්ෂයෙ දී විදුහල්පති නිල නිවස අලුත්වැඩියාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 34ක් වෙන්කර තිබිණි. එම මුදල් යොදවා අපේක්ෂිත අලුත්වැඩියාව සිදුකර අවසන්ව තිබූ අතර පොළොව ටයිල් කිරීම ඇතුළු අලුත්වැඩියා සිදුකළ බැවින් එය ජරාජීර්ණ වී තිබුණේය යන්න පිළිගත නොහැකි දෙයකි. නමුත් විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කිරීම සඳහා කලාප කාර්යාලයකින් බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට අනුයුක්ත කර ඇති පරිපාලන සේවා නිලධාරීවරයා වෙනුවෙන් වැසිකිළි කට්ටලයක් පවා රැගෙන දී ඇති බව ආදි සිසු සංගමයේ ම සාමාජික සාමාජිකාවෝ කියති.
2018 වර්ෂයේ දි අලුත්වැඩියාව සිදුකළ විදුහල්පති නිල නිවසක් 2021 වනවිට භාවිතයට නුසුදුසු තරමටම අබලන් වී තිබුණා නම් එය භාවිතා කළ ගුරුවරයාගෙන් එහි අලාභයන් අයකරගැනීම රජයට හැකියාවක් ඇත. විදුහලට වැඩ ආවරණය කිරීම සඳහා පත්වී ආ නිලධාරියා කළ යුත්තේ රජයට සිදුවූ අලාභය ප්‍රතිපූර්ණය කිරීම මිස තම සුඛ විහරණය සඳහා ආදි සිසුන්ගෙන් පරිත්‍යාග ලබා ගැනීම නොවේ.
බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් ඉරෝෂ් රත්නායක විදුහලේ ආදි සිසු විධායක කමිටුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස අදහස් දක්වමින් කියා සිටියේ විදුහල්පතිවරයාගේ නිල නිවසට අවශ්‍ය පරිත්‍යාගයන් ආදි සිසුන් විසින් ලබාදුන්නේ ඔවුන්ගේ කැමැත්තෙන් බවයි. ඒ සියල්ල ඉන්වෙන්ට්‍රිගත කරන බවත් ඒවා රජයේ දේපළ ලෙස සළකන බවත් ඔහු කියයා සිටියේය
ඉරෝෂ් රත්නායක ප්‍රාදේශීය ලේකම්වරයකු යනු රාජ්‍ය පරිපාලන සේවා නිලධාරියෙකි.
රජයේ නිලධාරීන්ට නිල නිවාස ලබාදීමේ ක්‍රමවේද දෙකක් තිබේ. එහිි දී නිලධාරීන් කණ්ඩායමකට කාර්යාල පරිශ්‍රය ආසන්න නිල නිවසක රැඳී සිටීම අනිවාර්යය වේ. දිසාපති සහ ප්‍රාදේශීය ලේකම් ධූර එම කොටසට අයත් වෙයි. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් ඉරෝෂ් රත්නායකට හිමි නිල නිවසක් ඇති අතර ප්‍රදේශයේ හදිසි අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බැවින් ඔහු අනිවාර්යයෙන්ම නිල නිවසේ රැඳී සිටිය යුතුය.
විදුහල්පතිවරුන්ට නිල නිවසකට හිමිකම් ඇති අතර ඇතැම් විදුහල්වල විදුහල්පති නිල නිවසක් නැත. විදුහල්පති නිල නිවසක් තිබුණ ද විදුහල්පිතවරයා එම නිල නිවසේ රැඳී සිටීම අනිවාර්යය කාරණයක් නොවේ. එබැවින් ඇතැම් විදුහල්පතිවරු තම නිල නිවස වෙනත් ගුරුවරුන්ට ලබාදෙන අතර ඇතැම් විදුහල්පතිවරු විදුහල්පති නිල නිවසක් නොමැති ගුරු නිවසක් පමණක් ඇති පාසල්වල ගුරු නිවසේ රැඳී සිටිති.
මේ බව අප ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විමසූ විට අප කරන ලද පැහැදිලි කිරීම නිවැරදි බව ඔහු පිළිගත්තේය.
නිල නිවසක අනිවාර්යයෙන් රැඳී සිටිය යුතු නිලධාරීන් වෙනුවෙන් රජයේ නිල නිවසක් වෙන්කිරීමේ දී ඒ සඳහා ගෘහ භාණ්ඩ පවා ලබාදෙන බවත් විදුහල්පතිවරු වැනි අනිවාර්යයෙන් නිල නිවසක රැදී සිටීමේ අවශ්‍යතාවක් නැති විදුහල්පතිවරුන් සඳහා නිල නිවසකට රජයෙන් ගෘහ භාණ්ඩ ලබාදීම සිදු නොකරන බවත් සිදුවන්නේ විදුහල්පතිරයා නිල නිවසට තම ගෘහ භාණ්ඩ රැගෙන ඒමේ දී රජයෙන් ප්‍රවාහන කුලිය ගෙවීම පමණක් නොවේ ද යන්නත් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එය ද නිවැරදි බවයි. නමුත් දැන් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් එම නව චක්‍රලේඛය අනුව නිල නිවසක අනිවාර්යයෙන් රැඳී සිටීමට සිදුවන තමන් වැනි නිලධාරීන්ට ද රජයෙන් නිල නිවසට ගෘහ භාණ්ඩ ලබා දීමක් සිදු නොවන බව හෙතෙම කීවේය.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“විදුහල්පතිතුමාට නිල නිවසට ගෘහ භාණ්ඩ හිමිවෙන්නේ නැහැ. ඉතින් එතුමා ඇවිත් මේ නිල නිවසේ සිටිය යුතු නිසා අපි කොළඹ ආදි සිසුන් සහ තවත් ආදි සිසුන් එකතුවෙලා ඔවුන්ගේ කැමැත්තෙන් පරිත්‍යාග කළා. මේවා කළේ විදුහල්පතිවරයාට පුද්ගලිකව දෙන දෙයක් ලෙස නෙවෙයි. ඒවා ඉන්වෙන්ට්‍රි කරලා පාසලේ ඇති දේපළ හැටියට ඇතුළු කරනවා. ඒක වරදක් කියලා මම දකින්නේ නැහැ.”
ප්‍රාදේශීය ලේකම්වරයා එසේ කීව ද පාසලක විදුහල්පතිවරයකු තම නිල නිවසට කියා හෝ යම් පරිත්‍යාගයක් ලබාගන්නේ නම් එය මෙරට නීතිය අනුව අල්ලසකි. එය අල්ලසක් නොවේදැයි විමසූ විට ප්‍රාදේශීය ලේකම්වරයා එය අල්ලසක් ලෙස පිළිගත්තේ නැත.
එවිට අපි ඔහුගෙන් මෙසේ විමසා සිටියෙමු.
අපි – “දැන් මේ පරිත්‍යාග කරන අය ලේඛන ගත කරනවා නේද ? ඔවුන්ට ස්තූති කරලා ලියුමක් දෙනවා නේද ?”
ප්‍රාදේශීය ලේකම් – “ඔවු අපි ආදි ශිෂ්‍ය සංගමයෙන් ලියුමක් දෙනවා මේ පරිත්‍යාග කළා කියලා”
අපි – “එතකොට ඒ පරිත්‍යාග කරපු කෙනාගේ ළමයෙක් පාසලට දාන්න අවශ්‍ය වුණොත් අර ලියුම අරගෙන ආවම ලකුණු දෙනවා නේද ?”
ප්‍රාදේශීය ලේකම් – “ඔව් රජයේ චක්‍රලේඛ අනුව ළමයි පාසලට ඇතුළත් කිරීමේ දී ලකුණු දෙන්න වෙනවා”
අපි – “මුදලින් හෝ භාණ්ඩවලින් හෝ පාසලට පරිත්‍යාගයක් කරලා ඒකට වෙනත් අවස්ථාවක දී හෝ එම පරිත්‍යාගය කළ පුද්ගලයාට යම් වරප්‍රසාදයක් හිමිවෙනවානම් ඒක අල්ලසක්නේ. අල්ලස් පිළිබඳ නිර්වචනය බලන්න ඔබතුමා.”
ප්‍රාදේශීය ලේකම් – “ඒක අල්ලසක් කියන්න බෑ. අධ්‍යාපන චක්‍රලේඛ අනුව වෙන්නේ.”
අපි – “චක්‍රලේඛවලින් අල්ලසට ඉඩ දීමක් වෙලා තියෙනවා. ඒක නිසා තමයි දැන් විදුල්පතිවරු මේ වගේ කරන්නේ”
ප්‍රාදේශීය ලේකම් – “අපිට පාසල් දියුණුු කරන්න මේවා කරන්න වෙනවා. පාසලට බෝර්ඩ් එකක් පවා ගහන්න වෙන්නේ පරිත්‍යාගශීලීන්ගේ උදව්වෙන්”
රජ්‍ය පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියකු වන ප්‍රාදේශීය ලේකම්වරයා එය අල්ලසක් ලෙස පිළිගන්නේ නැත. ඔහු පවසන්නේ විදුහල්පතිවරයාගේ නිල නිවසට ගෘහ භාණ්ඩ රජයෙන් ලැබෙන්නේ නැති බැවින් ඒවා පරිත්‍යාගශීලීන්ගෙන් ලබා දීමට ආදි සිසු කමිටුව ගත් තීරණය නිවැරදි බවයි. ඒ භාණ්ඩ පරිත්‍යාග කළ අයට තම දරුවන් පාසලට දා ගැනීමේ දී විශේෂත්වයක් හිමිවෙයි. මුදල් වියදම් කළ නොහැකි ආදි සිසුන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ නැත.
නමුත් විදුහල්පතිවරයකු තම නිල නිවසට ඇඳ පුටු මේස පිඟන් කෝප්ප හා ඇඳ ඇතිරිලි පවා තම පුද්ගලික ධනයෙන් රැගෙන ආ යුතු බව මේ ආදි ශිෂ්‍ය සංගමය දන්නේ නැත.
විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කිරීමට පැමිණි අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීවරයා ද කිසිදු ගෘහ භාණ්ඩයක් නොමැතිව පැමිණ ඒ සියල්ල ආදි සිසුන්ගෙන් සම්පූර්ණ කරගැනීමත්, කලිසම් කෝට් මසා ඒවායේ බිල් ගෙවීම පවා ආදි සිසුන්ට භාරදීමත් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණ පැවැත්විය යුතුය.
ආදි සිසුන් විදුහල්පති නිල නිවස වෙනුවෙන් කරන ලද පරිත්‍යාගයන් ඉන්වෙන්ට්‍රිගත කළ විට ඒවා රාජ්‍ය දේපළ බවට පත්වෙයි. එවැනි රාජ්‍ය දේපළ විදුහල්පතිවරයාගේ පෞද්ගලික පරිහරණයට ගැනීමට නීතිමය අවසරයක් නැත.
මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ එක්තරා සුප්‍රසිද්ධ පාසලකින් උදාහරණයක් තිබේ. පාසලේ තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකෙන් එකක් සිය නිල නිවසේ භාවිතා කළ විදුහල්පතිවරයකුට තාවකාලික වැඩ තහනමකට ලක්වූ විදුහල්පතිවරයාට විනය පරීක්ෂණයකට පවා මුහුණ දිමට සිදුවිය. අවසානයේ දැඩි අවවාදකිරීම් හමුවේ රූපවාහිනී යන්ත්‍රය යළි පාසලට එවීමට විදුහල්පතිවරයාට සිදුවිය.
ප්‍රාදේශීය ලේකම්වරයා පවසන්නේ තමන්ට ද නිල නිවසක් හිමවුව ද දැන් නව චක්‍රලේඛ අනුව ගෘහ භාණ්ඩ නොලැබෙන බවයි. ඔහු විදුහල්පතිවරයා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම අනුව මින් මතුවට නිල නිවසකට යන ප්‍රාදේශීය ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරියන් සඳහා ප්‍රදේශයේ ධානපතීන් ඇඳ ඇතිරිල්ලේ සිට පිඟන් කෝප්ප, රූපවාහිනී සහ ශීතකරණ යන්ත්‍ර දක්වා සියල්ල ලබාදුන්න ද එය අල්ලසක් නොවනු ඇත.
ඒ වෙනුවෙන් පරිත්‍යාග කරන පුද්ගලයන්ට වැලි බලපත්‍ර, පස් කැණීම්, පතල් කැණීම් බලපත්‍ර ආදී එකී නොකී බොහෝ වරප්‍රසාද හිමිවනු ඇත. වංචාව හා දූෂණය සිදුවන්නේ ඒ ආකාරයනේ බව අප මේ අවස්ථාවේ දී සිහිපත් කරන්නෙමු.
නූතන විද්‍යාව පමණක් නොව සමාජ විද්‍යාව ද ඉතිහාසය ද ඉගැනීම විද්‍යාවකි. සම්ප්‍රදායික යාතු කර්ම හා ශාන්තිකර්ම ගැන ද දරුවන් දැන සිටිය යුතුය. නමුත් මෙරට ඇති ශාන්ත කර්ම අතර උළුඅස්ස පැනීම පමණක් නොව ඇතැම් පුද්ගලයන්ගේ වස් දොස් දුරු කිරීම සඳහා කන්‍යාවියන් ලවා කිරි නාවා ගත් කතා ද, පාර්ලිමේන්තුවේ පුටුවල මතුරන ලද තෙල් ආලේප කළ කතා ද, ශාන්තිකර්ම සඳහා බිලි පූජා පවත්වන කතා ද අපි අසා ඇත්තෙමු. ඒවා ඕනෑ තරම් අදටත් ජන සමාජයේ පවතී.
මේ වනවිට සිදුව ඇත්තේ මෙරට බොහෝ විද්‍යාර්ථීන් බිහිකළ බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාලය උළුඅහු කඳන්වලට පිරිත් නූල් ගැටගසා දුන් අල්ලා වැඳ වැටී පොල් ගෙඩි බිඳ ශාන්තිකර්ම සිදුකිරන තත්තවයකට ඇද වැටීමයි. එම විදුහලේ නූතන පාලකයන්ට අවශ්‍යව ඇත්තේ එවැනි අධ්‍යාපනයක් හිමිවන දරු පරපුරක්නම් අපට ඒ ගැන කීමට කිසිවක් නැත.
උළුඅහු පැන එය සාධාරණීකරණය කරන නූතන සමාජයේ මානවයන් හෙට දිනයේ බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාලයේ බිලි පූජා නොපවත්වනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු. මේ පිළිබඳ පැහැදිළි කළ ඔවුන්ට මේ ශාන්තිකර්මය සාමාන්‍ය සංස්කෘතික ලක්ෂණක් වූ ආකාරයටම එවැනි බිලි පූජාවක් ද සාමාන්‍ය සංස්කෘතික ලක්ෂණයක් ලෙස හැඳින්වීමට ඉඩ තිබේ.
(සියලු පුද්ගලයන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරුකරන අප rata.lk වෙබ් අඩවිය බණ්ඩාරවෙළ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් දැක්වූ අදහස් එලෙසම මෙහි පළකර ඇත. කෙනෙකු කියන දෙයක් ඒ කියූ ආකාරයෙන් ම පළකරන අතර එහි සියලු පැතිකඩ පෙන්වාදීම අප පිළිගත් ක්‍රමවේදයයි. ඒ අනුව අප ඔවුන්ගේ අදහස් සම්බන්ධ මෙරට නීතිමය පැහැදිළි කිරීම ද සිදුකර ඇත. මේ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිළි කිරීම් අවශ්‍යනම් ඒ සඳහා තවදුරටත් ඉඩ වෙන්කරන බව ද මෙයින් දන්වා සිටිමු.)
මෙම වෙබ් අඩවියේ ඇඩ්මින්වරුන් බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය සමග යම්කිසි පෞද්ගලික කෝන්තරයක් පිරිමහ ගැනීමට උත්සාහ දරනවාද?
මේ රටේ කොච්චර සිද්ධි සිදුවෙනවද පළකල යුතු අන්දමේ ඒවා.
මෙහි නැවත දීර්ඝ හේතු දැක්වීමක් කර ඇත්තේ පෙර ලිපිය සම්බන්ධයෙන් සාධාරණ පිලිගත හැකි හේතු දැක්වීමක් කවුරුන් හෝ කල නිසා යැයි විශ්වාස කරමි. මෙහි ඇති ඇතැම් ප්‍රකාශයන් පාසලට එරෙහිව කර ද්වේෂ සහගත ප්‍රකාශයන් බව පෙනී යයි.උදාහරණයක් ලෙස “උළුඅහු පැන එය සාධාරණීකරණය කරන නූතන සමාජයේ මානවයන් හෙට දිනයේ බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාලයේ බිලි පූජා නොපවත්වනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.” වැනි ප්‍රකාශ දැක්විය හැක.එමෙන්ම උළුඅහු පැන්නීමේ චාරිත්‍රය සිදු කිරීම හෝ නොකිරීම පිලිබද ප්‍රකාශ සිදු කිරීම පැහැදිලිවම පුද්ගලික මතයකි.උළුඅහු පැන්නවීම වැරදිද නිවැරදිද යන්න ඉගි කිරීම වාර්තාකරුවෙකුගේ කාර්‍යභාරය නොවේ යැයි විශ්වාස කරමි.එවැනි චාරිත්‍ර සිදුකිරීම වැරදි යැයි අදහසක් කර්තෘ තුල ඇත්නම් එය ප්‍රකාශ කල යුත්තේ මෙහි නොවේ.කර්තෘගේ පුද්ගලික මතයන් ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී ලිපි වලට එබ්බවීම අනුමත කල නොහැක.බිලිපූජා ගැන ප්‍රකාශයද කර්තෘ විසින් ලිපියට එබ්බවූ මනස්ගාතයක් බව පෙනී යයි.මෙ වැනි අදූරදර්ශී ද්වේශසහගත ප්‍රකාශ කිරීමට වාර්තාකරුවෙකු කටයුතු නොකල යුතුය.
I hate our journalists and shitty reporters. They themselves eat shit and report hate !! This is sinhalese.