-5.9 C
New York

ගාල්ලෙන් හමුවූ හිස නැති මළ සිරුරේ විස්තර හෙළි වෙයි

Published:

ගාල්ල නගරය ආසන්න මුහුදේ පාවෙමින් තිබිය දී ගොඩගත් හිස නැති මළ සිරුර මිනී මරුමක් නොව දියගිලීමෙන් සිදුවූ මරණයක් විය හැකියැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර පවසයි.

වෛද්‍යවරයා මේ බව කියා සිටියේ එම සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුවය. එම සිරුර හමුවූයේ සැප්තැම්බර් 02 වැනි දා ගාල්ල සමුද්‍ර මාවත ආසන්න මුහුදේ පාවෙමින් තිබිය දී ය.

එම මළ සිරුරේ හිස වෙනත් පාර්ශවයක් විසින් වෙන්කිරීමක් කර නොමැති බවත් මුහුදේ රළ සමඟ ගල්පරවල වේගයෙන් වැදීම හේතුවෙන් හිස කැඩී බරපතල ලෙස හානි සිදුව ඇති බවත් විශේෂඥ වෛද්‍ය නානායක්කාර කීවේය.

ඔහු වැඩි දුරටත් මෙසේ ද කියා සිටියේය.

“මේ සිරුර ඉදිමී නරක් වී තිබුණා. අපි එය විච්ඡේදනය කළා. හිස නැති මළ සිරුරක් කියූ නිසා මුලින් සැකයක් ඇතිවුණා බෙල්ල කපා දමා කියා. නමුත් සිරුර බාහිරින් පරීක්ෂා කිරීමේ දී ම පැහැදිලිව පෙනෙනව හිස ගල්පරවල වැදීමෙන් කැඩී ‍ගොස් තිබෙන බව. ඒ වගේම මේ මියගිය පුද්ගලයා හොඳින් වැඩුණු නිරෝගී වැඩිහිටියෙක්. වයස අවුරුදු 40ට වැඩියි. ඔහුගේ අනන්‍යතාවක් හඳුනාගැනීමට හැකිවන ආකාරයේ සැත්කම් ලක්ෂණ, පච්ච ලකුණු වැනි කිසිවක් නැහැ. නමුත් මියගිය පුද්ගලයා දුඹුරු හමක් ඇති අයකු බව ස්ථිරයි. සුදු ජාතිකයෙක් නොවෙයි. ඒ වගේම ඔහුගේ සිරුර විච්ඡේදනය කළ විට කිසිදු නිදන්ගත රෝගයක් සොයාගත නොහැකි වුණා.”

වෛද්‍යවරයා පවසන්නේ මෙම පුද්ගලයාගේ මුහුණේ හනු හෝ දත් කිසිවක් ඉතිරිව නොමැති බැවින් දන්ත වින්‍යාසය හෝ සොයාගත නොහැකි බවයි.

විශේෂඥ වෛද්‍ය රුවන් නානායක්කාර විසින් මෙම තොරතුරු සියල්ල මේ වනවිට ගාල්ල මූලස්ථාන පොලිසියට ලබා දී තිබේ. ගාල්ල මූලස්ථාන පොලිසිය ඒ පිළිඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

spot_img