බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාලයේ රාජකාරී භාරගත් නව විදුහල්පතිවරයා ශාන්තිකර්මයක් පවත්වා වස්දොස් දුරුකරගැනීමේ අපූරු සිද්ධියක් වාර්තා වෙයි.
මොහු අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරියෙකි.
නියෝජ්‍ය විභාග කොමසාරිස් ධූරයෙක් ද දැරූ හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වූ මෙම නිලධාරියා බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ධූරයට පැමිණ ඇත්තේ හිටපු විදුහල්පතිවරයා ස්ථාන මාරුවීමක් ලැබීමෙන් අනතුරුවය.
හිටපු විදුහල්පතිවරයා ස්ථාන මරුකර දෙන ලෙස ඉල්ලා එම විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය අධ්‍යාපන පරිපාලකයන්ට දැඩි බලපෑමක් කළ අතර එම ධූරයට ගාල්ල මහින්ද විද්‍යාලයේ වැඩ ආවරණය කරන විදුහල්පතිවරයාව සිටිය දි චෝදනා රැසකට ලක්වූ ගාමිණී ජයවර්ධන ගෙන්වාගැනීමට ද එම ආදි ශිෂ්‍ය සංගමයේ පිරිසක් උත්සායක නිරතව සිටියහ.
අලුතෙන් පත්ව ආ නව විදුහල්පතිවරයාට බණ්ඩාරවෙල නගරයේ රෙදි සාප්පුවකින් අලුතෙන්ම කලිසම් කෝට් පවා මිලදී ගෙන දීමට ආදි සිසුන් කටයුතු කළ අතර ඒවායින් සැරසී පැමිණි විදුහල්පතිවරයා උත්සවාකාරයෙන් පිළිගැනීම ද සිදුවිය. විදුහල්පතිවරයාගේ නිල නිවසට ද නව උපකරණ පවා ලබා දී ඇති අතර ශාන්තිකර්මය ද එහි ම අංගයක් වී තිබේ.
මෙරට ඇති සංස්කෘතිය අනුව වැඩිවියට පැමිණි ගැහැනු ළමයකු නහවා ගෙට ගන්නා අයුරින් සුදු රෙද්දක් පොරවා ගත් අයකු විසින් විදුහල්පතිවරයා වෙනුවෙන් ශාන්තිකර්මයක් සිදුකර පොල් ගෙඩියක් ද බිඳ දමා තිබේ. මෙය සංවිධානය කළ පිරිස පවසන්නේ විදුහල්පතිවරයාට භූත දෝෂවලින් තොරව රාජකාරී කිරීමට අවශ්‍ය වටපිටාව සැකසීම සඳහා මෙලෙස භූතයන් එළවීමේ ශාන්තිකර්මයක් සිදුකළ බවයි.
වාර්ෂිකව වෛද්‍ය හා ඉංජිනේරු පීඨ ඇතුළුව විද්‍යා විෂයයන් හැදෑරීම සඳහා විශාල සිසු පිරිසක් විශ්වවිද්‍යාලය වෙත යොමු කරන මෙම විද්‍යාලය ආචීර්ණකල්පික ගෝත්‍රික යුගයකට නැවත අවතීර්ණ වීම කණගාටුදායක බව ඉන් උගත් ආචාර්ය මහාචාර්ය පදවි දරන විද්‍යාර්ථීහු පෙන්වා දෙති.
රජයෙන් වැටුප් ලබන අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරියකු පාසලක විදුහල්පතිවරයකු වී තමන්ට අවශ්‍ය ඇඳුම් පවා ආදි ශිෂ්‍ය සංගමයෙන් ලබාගන්නා තරම් තත්වයකට පත්වීම ඛේදවාචකයක් බව බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාලයීය ප්‍රජාව චෝදනා කරති.
මෙය වර්තමානයේ විදුහල්පතිවරු ආදි ශිෂ්‍ය සංගමයෙන් අපේක්ෂා කරන පැකේජවල ස්වරූපයයි. මෙවැනි පැකේජ පිළිබඳ අපි rata.lk වෙතින් මීට පෙර ද හෙළි කළෙමු. දැන් ඒ පැකේජවලට පාසල්වල භූත දෝෂ දුරු කිරීම ද ඇතුළත්ව තිබේ. එවැනි පැකේජ ලබා රජයෙන් ලබන වැටුපට අමතරව වෙනත් වරප්‍රසාද හා වරදාන සඳහා එකඟ වී පැමිණෙන පරිපාලන සේවා නිලධාරීන්ගෙන් මෙරට අධ්‍යාපනය වෙනුවෙන් සේවයක් සිදුවන්නේ ද යන්න ජනතාව ප්‍රශ්න කළ යුතුව තිබේ.
විද්‍යාලයක දියුණුවට කැපවීම ආදි ශිෂ්‍ය සංගමයක යුතුකම වන නමුත් රජයේ සේවකයෙකු වන විදුහල්පතිට වරදාන වරප්‍රසාද ලබා දීම අධ්‍යාපන ක්ෂේත්‍රය වෙලා ගෙන ඇති දූෂණවලට දිරි දීමක් බව ද ආදි සිසු සංගම් අවබෝධ කරගත යුතුය.
මෙවැනි මිත්‍යා විශ්වාස කරපින්නා ගත් නිලධාරීන්ට සමග “විද්‍යාලය” යන්නේ නියම අර්ථය හෝ තේරුම්ගත නොහැකිව තම රාජකාරිය කළ නොහැකි බව අපි අවසන් වශයෙන් අවධාරණය කරන්නේ මෙහි සිදුවන ඉදිරි ක්‍රියාවන් පිළිබඳ අපි අවධානයෙන් සිටින බව ද දැනුම් දෙමිනි.




