ආචාර්ය රංග කලංසූරිය විසිනි
මියන්මාරයේ ඇති යටබිම්ගත ජාතික සමගි රජයේ වැඩබලන ජනාධිපති ඩුවා ලෂි ලා ඊයේ (07) එරට හමුදාවට එරෙහිව යුද්ධයක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කළා. ඒ යුද ප්‍රකාශය හේතුවෙන් මියන්මාරයේ ඉදිරි වසර කිහිපයේ දී ගරිල්ලා යුද්ධයක් ඇතිවනු ඇතැයි පෙරනිමිති පහළ වෙනවා.
දැවැන්ත සිවිල් නැගිටීමක් බවට පත්ව ඇති ජාතික සමගි රජය ලෙස හැඳින්වෙන මේ ඡායා රජයේ නායක ඩුවා ලෂි ලා රටේ බලය අල්ලාගෙන සිටින හමුදාවට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව අමතමින් රට පුරා හදිසි නීතිය පැනවීමට ක්‍රියාකළා. පෙබරවාරි 01 වැනි දා කුමන්ත්‍රණයකින් බලය අල්ලාගත් රාජ්‍ය පරිපාලන මණ්ඩලය (SAC) වන හමුදා පාලනයට එරෙහිව අවි අතට ගන්නා ලෙස ඔහු නොබියව සිවිල් වැසියන්ට ආරාධනා කළා.
දැනටත් ආසියාවේ පැරණිතම සිවිල් යුද්ධය මේ වනවිටත් සිදුවෙමින් එහි සිදුවෙමින් පැවතියත් පසුගිය දශක හත තුළම ජනවාර්ගික කලාපවල මායිම්වලට පමණක් ඒ යුද්ධය සීමා වී තිබීම විශේෂත්වයක්. නමුත් ඔහු මෙලෙස හමුදා පාලනයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමත් සමඟ සමස්ත රටම සියලු වැසියන් ආවරණය වන පරිදි ගරිල්ලා යුද්ධය ව්‍යාප්ත වී පවත්නා සන්නද්ධ ගැටුම්වල විශාල වර්ධනයක් ඇතිවීමේ තත්වයක් නිර්මාණය වනවා.
මෙම නිවේදනය මාස කිහිපයකට පෙර බලාපොරොත්තු වූ නමුත් ජාතික සමගි රජයේ සන්නද්ධ අංශය වන ජනතා ආරක්ෂක බළකාය (PDF) අතර තිබූ යම් යම් මතභේද හේතුවෙන් එය ප්‍රමාද වුණා. රටේ ජනවාර්ගික සන්නද්ධ සංවිධානවලින් භාගයකට ආසන්න සංඛ්‍යාවක් ඒකරාශී වී සිටින PDF හි ප්‍රමාණවත් දායකත්වයක් නොමැතිව ගරිල්ලා යුද්ධයක් දියත් කිරීමට හැකියාවක් නැති බව ඔවුන් තේරුම් ගෙන සිටියා.
ඩොලර් මිලියන 20කට වඩා වැඩි ආයෝජනයකින් PDF නැගෙනහිර යුරෝපයේ අවි සැපයුම්කරුවන් කිහිප දෙනකුගෙන් ම ඉදිරි සටන් සඳහා අවශ්‍ය අවි රැස්කිමීට උත්සාහ කළත් එය නිෂ්ඵල වීමත් ඊට හේතුවක්. චීන අවි සැපයුම් කරුවෙකුගෙන් පසුගිය සති කිහිපයේ දී සැළකිය යුතු ආයුධ ප්‍රමාණයක් PDF වෙත ලැබී තිබීම මෙම තීරණය ඉක්මන්වීමට හේතුවක් වූ බව PDF මූලාශ්‍ර පෙන්වා දෙනවා.
මියන්මාරයේ ඇති ජනවාර්ගික සන්නද්ධ සංවිධාන බොහොමයක් එක් අණක් යටතේ ඒකාබද්ධ කිරීමේ දී ගැටලු කිහිපයක් තිබූ නිසා රටේ බලය අල්ලාගෙන සිටින හමුදාවට එරෙහිව පූර්ණ යුද්ධයක් ආරම්භ කිරීම ගැන PDF සිටියේ ද තරමක තැතිගැන්මකින්. ජනවාර්ගික සන්නද්ධ සංවිධාන අතර දිගුකාලයක් තිස්සේ මුල්බැස ගෙන ඇති පරස්පර මත ඉතා ගැඹුරට දිව යන අතර මාස කිහිපයක් ඇතුළත පොදු අරමුණක් වෙනුවෙන් ඔවුන් බලමුළු ගැන්වීමේ දී ඇතිවිය හැකි සංකීර්ණ ගැටලු විසඳීම පහසු වූවේ නැහැ. PDF නායකත්වයේ බලාපොරොත්තුව වුණේ මේ සියළු සන්නද්ධ කණ්ඩායම් එකට එක්කිරීමයි. ඒ සඳහා වැඩි කාලයක් ද අවශ්‍ය වුණා.
ප්‍රකාශයට පත්කර ඇති ජාතික සමගි රජයට ඇති අභියෝගය අන් සියල්ලට ම වඩා දේශපාලනිකයි. එළැඹෙන සතියේ දී නිව්යෝර්ක් හි දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේ අවධානය දිනා ගැනීමට ඔවුන්ට අවශ්‍යව තිබෙනවා. මේ වනවිට ගෝලීය අවධානය වැඩිපුර යොමුව ඇත්තේ දකුණු ආසියාවේ අනෙක් කෙළවරේ ඇති ඇෆ්ගනිස්ථානය වෙතයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේ අවධානය කාබුල් සිට යැංගොන් වෙත යොමුකරගැනීමට නම් ඉදිරි දින කිහිපයේ දී දැඩි සිවිල් නොසන්සුන්තාවක් සහ දේශපාලන හිංසනය පිළබඳ සිද්ධීන් කිහිපයක් නිර්මාණය කිරීමට ඔවුන්ට අවශ්‍යව තිබෙනවා.
නිව්යෝර්ක්හි එක්සත් ජාතීන් සඳහා වන මියන්මාර නියෝජිතයා ලෙස තවමත් කටයුතු කරන්නේ බලයෙන් පහකරන ලද අවුන් සාන් සුකී විසින් පත්කළ චෝ මෝ තුන්. ඔහු ඉන් නෙරපා දැමීමට හමුදා පාලනය ගත් උත්සාහයන් නිෂඵල වුණා. ජාත්‍යන්තර ප්‍රජාව බහුතරයක් විසින් මෙතෙක් පිළිගෙන නැති හමුදා පාලනයේ නියෝජිතයා එක්සත් ජාතීන් විසින් ප්‍රතික්ෂේප කළ නිසා ලබන සතියේ ගෝලීය නායකයින් හමුවන විට චෝ මෝ තුන්හට හඬ නැගීමට අවස්ථාව ලැබෙනවා. ජාත්‍යන්තර නායකයන්ට ඔහුගේ හඬට කන්දීමට සිදුවනවා.
ඔහු නිසැකවම හමුදා පාලනය නියෝජනය නොකර සැඟවී සිටින ජාතික සමගි රජය නියෝජනය කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මෙම සමුළුව නියෝජනය කිරීමට ඔහුට අවස්ථාව ලැබී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ ඔහුට අදහස් දැක්වීමට හැකියාව ලැබෙන්නේ නම් ජාත්‍යන්තර ප්‍රජාව විසින් මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව ජාතික සමගි රජය නිල වශයෙන් පිළිගැනීමක් ලෙස එය හැඳින්විය හැකිවනු ඇති.
චීනය සහ රුසියාව ඊට කවර ආකාරයකින් ප්‍රතිචාර දක්වනු ඇත්ද යන්න විමසිලිමත් විය යුතු කරුණක්. එක්සත් ජාතීන‍්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රබලයන් දෙදෙනකු වන චීනය හා රුසියාව මියන්මාරයේ හමුදා පාලනය සමඟ විවෘතව නිල මාර්ග ඔස්සේ දැනටමත් සහයෝගයෙන් කටයුතු කරවා.
චේ මූ තුන්ට නිව්යෝර්ක් සමුළුවේ දී මියන්මාරය නියෝජනය කිරීමට ඉඩ දෙන්නේ නම් දැනටමත් මියන්මාරයේ හමුදා පාලනය පිළිගෙන ඇති ආසියානු කලාපීය රාජ්‍යයන්ට එය පීඩනයක් යෙදීමට හැකි අවස්ථාවක් ද වනවා. හමුදා නායක ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින්ග් අවුන්ග් හ්ලයිං ආසියානු නායකයන් සති කිහිපයකින් බෲනායිහි දී හමුවන විට මියන්මාරයේ අගමැතිවරයා ලෙස පිළිගැනීමමට ලක්වනු ඇතැයි යන අපේක්ෂාවෙන් තම ඇඳුම් කට්ටල පවා සූදානම් කරමින් සිටිනවා වෙන්නට පුළුවනි.
ඉදිරි සති කිහිපයේ දී ගෝලීය හා කලාපීය බලවතුන්ට බලෑම් එල්ලකිරීම සඳහා උපායමාර්ගිකව කටයුතු කිරීමට ජාතික සමගි රජයේ නායකයන්ට දිගුකාලීනව අවශ්‍යව තිබිණා. චීනයේ සහ රුසියාවේ දැඩි සහයෝගයක් ලබන සන්නද්ධ හමුදාවකට එරෙහිව රට පුරා ගරිල්ලා සටනක් දියත් කිරීමට එහි සන්නද්ධ අංශ සම්පූර්ණයෙන් ම සූදානම් නැහැ.
මියන්මාරයේ ජාතික සමගි රජයේ නායකයන් කළ නිවේදනය 80 දශකයේ අග භාගයේ ශ්‍රී ලංකාවේ දියත් වූ සන්නද්ධ කැරැල්ල හා සමානයි. හමුදාවට සහය දෙන ඕනෑම අයකු ඝාතනය කරන ව මියන්මාරයේ ජාතික සමගි රජය සහ PDF අනතුරු ඇඟවූවා. එමෙන්ම සියලු සිවිල් පරිපාලකයන්ට ඉල්ලා අස්වන ලසෙ ද නියෝග කළා. සිවිල් වැසියන්ට නිවෙස්වලට වී සිටින ලෙස දැනුම් දී ඇති අතර අරගලයට එක්වන ලෙස සියලු ජනතාවට ආරාධනා කළා. මෙයට හේතු සාධක අවබෝධ කරගන්නා ලෙස ද ඔවුන් ජාත්‍යත්නර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. ජාත්‍යන්තර නීතියට අනුකූලව කටයුතු කරන ලෙසත් යුද අපරාධ සිදු කිරීමෙන් වළකින ලෙසත් දැනුම් දෙමින් ජාතික සමගි රජයේ නායකයන් තම සන්නද්ධ කණ්ඩායම්වලට මාර්ගෝපදේශ නිකුත්කර තිබීමත් සිත්ගන්නා සුළු කරුණක්.
දැනට ඇතිවී තිබෙන දේශපාලන සන්ධර්භයන් තුළ ආසියාව පීඩනයෙන් මිදෙන බවක් පෙනෙන්නේ නැහැ. මියන්මාරයේ සිට ඇෆ්ගනිස්ථානය දක්වා සහ නැවතත් මියන්මාරය දක්වාත් යෙදෙන පීඩනය සහ එහි පරිමානය එකිනෙකා අභිබවා යමින් තිබෙනවා.
අවධානයෙන් සිටීමට සහ නැරඹීමට සිදුව ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව කාබුල් සහ යැංගොන් අගනගර අතර සහ ඉන් ඔබ්බට සිය අවධානය බෙදා ගැනීමට යන්නේ කවර ආකාරයෙන් ද යන්නයි.
මෙම ලිපිය https://factum.lk/ වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි.
ලිපියේ පළමු පිටපත මෙතැනින්
ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි