-5.9 C
New York

දොස්තර මල්ලියි ආචාර්ය අයියයි රටම රවටයි. “කරාපිටියේ කරල” රෝහලේ කොරෝනා ආසාදිතයන්ට දී නැහැ.

Published:

“කරාපිටියේ කොරෝනා කරල” යනුවෙන් හඳුනාදෙමින් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන නිෂ්පාදනයක් කිසිම අවස්ථාවක දී කරාපිටිය රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ලබා දී නැතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසයි.

මෙම නිෂ්පාදනය සොයාගත් බව පවසමින් කරාපිටිය රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුවන උදාර සම්පත් ගුණවර්ධන සහ ඔහුගේ සොහොයුරා වන ආචාර්ය නන්ද ගුණවර්ධන විසින් විශාල ප්‍රචාරයක් ගෙන යමින් ඉන් කරාපිටියේ රෝගීන් සුව වී ඇතැයි පැවසුව ද මේ දක්වා කරාපිටිය ශික්ෂණ රො‍හලේ කිසිදු රෝගිකයකුට එවැනි නිෂ්පාදනයක් ලබා දී නැතැයි අධ්‍යක්ෂ වරයා තහවුරු කළේය.

පසුගිය සැප්තැම්බර් 02 වැනි දා ඩේලි මිරර් පුවත් පතේ මුල් පිටුවේ පළ වූ පුවතක දක්වා තිබුණේ ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද මෙගා ප්‍රයිම් නමැති කරලක් කරාපිටිය ශික්ෂණ රෝහලේ රෝගීන් ඇතුළු 10,000කට ලබා දී ඔවුන් සුව වී ඇති බවයි. එම නිෂ්පාදනය සොයාගත් බව කියන ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ආචාර්යය නන්ද ගුණවර්ධන ඒ බව පවසා තිබිණි. ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනගේ වැඩිහමල් සහෝදරයාය.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසන්‍නේ මෙය ව්‍යාජ නිෂ්පාදනයක් බවයි. එවැනි නිෂ්පාදනයක් කරාපිටිය රෝහලේ රෝගීන්ට කිසිම දිනයක ලබා දී නැති බවත් එවැනි නිෂ්පාදනයක් සම්බන්ධයෙන් සායනික පරීක්ෂණයක් සිදුකර නැති බවත් වෛද්‍ය පෙරේරා මහතා තහවුරු කළේය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ඔවුන් පවසන මේ නිෂ්පාදනයක් කොරෝනා රෝගීන් භාවිතා කරන්නේ නැහැ. වෛද්‍ය උදාර සම්පත් සහ ඔහුගේ ‍සහෝදරයා නිෂ්පාදනයක් ගැන කියනවා. ඒක කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිතයන්ට දීලා හොඳ වුණා කියලා ප්‍රචාරය කරනවා. නමුත් එවැනි නිෂ්පාදනයක් කිසිම දිනක කරාපිටියේ කොරෝනා ආසාදිතයන් සඳහා ලබා දී නැහැ. ඒ වගේම ඔවුන් කියන මේ නිෂ්පාදනය කරාපිටියේ දී හෝ වෙනත් කිසිම ස්ථානයක සායනික පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත රෝගීන්ට ලබා දීම සුදුසුයැයි අනුමත කර නැහැ. ඔවුන් ගෙනයන්නේ වැරදි ව්‍යාජ ප්‍රචාරයක්.”

මෙම ඖෂධය සොයාගත් බව කියන සහෝදරයන් දෙදෙනාගෙන් එක් අයකු වන උදාර සම්පත් ගුණවර්ධන මේ වනවිට කරාපිටිය ශික්ෂණ රොහලේ කොරෝනා වාට්ටුවේ සේවය සඳහා අනුයුක්ත කර තිබේ. රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ ඔහු ‍එම වාට්ටුවට අනුයුක්ත කළේ කරාපිටියේ කොරෝනා ආසාදිතයන් ගැන බොහෝ වේදනාවෙන් ජනාමධ්‍යයට අදහස් දක්වා තිබූ නිසා බවයි.

නමුත් ඔහු කොරෝනා වාට්ටුවේ සේවය සඳහා අනුයුක්ත කර තිබීමෙන් පසුව හෝ මෙම නිෂ්පාදනය එහි සිටින කිසිදු රෝගියෙකුට ලබා නොදන බවත් අධ්‍යක්ෂවරයා පවසයි. එමෙන්ම එවැනි නිෂ්පාදනයක් ලබාදීමට ඔහුට කිසිදු නීතිමය අවසරයක් නොමැති බව ද රෝහල් අධ්‍යක්ෂවරයා කීවේය.

කොරෝනා සුව කළ හැකි ඖෂධයක් සොයාගත් බව පවසන වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන කොරෝනා වාට්ටුවේ සේවය කරන්නේ අනෙකුත් වෛද්‍යවරුන් විසින් ද කොරෝනා වයරසයෙන් ආරක්ෂාවීම සඳහා අඳිනු ලබන සම්පූර්ණ ආරක්ෂිත ඇඳුම් කට්ටලය සඳහ මුඛ ආවරණ මෙන්ම මුහුණු ආවරණ ද පැළඳ ගනිමිනි. එමෙන්ම ඔහු සෑම අවස්ථාක දී ම විෂබීජ නාශක දියර වර්ගද අඩුවක් නැතිව භාවිතා කරයි. ඔහුට තම නිෂ්පාදනය පිළිබඳ විශ්වාසයක් ඇත්නම් එලෙස ආරක්ෂාවීමට අවශ්‍යතාවක් නැතැයි රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.

රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන සමඟ කටයුතු කරන අනෙකුත් සෞඛ්‍ය සේවා නිලධාරීන් පවසන්නේ උදාර සම්පත් ගුණවර්ධන හෝ ඔහුගේ සහෝදරයා නිෂ්පාදනය කළ දෙයක් නැති බවයි. ඔවුන් මුදල් ගැරීමේ ජාවාරමක නිරතවන බවත් රෝහලේ දී උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යවරයා අනෙක් කිසිදු වෛද්‍යවරයකු හෝ රෝහලේ අනෙක් නිලධාරීන් සමඟ හෝ එවැනි නිෂ්පාදනයක් ගැන කතා නොකරන බවත් ඔවුහු කියති.

මෙම නිෂ්පාදනය විකුණා ගැනීමේ අරමුණෙන් කරාපිටිය ශික්ෂණ රෝහල සම්බන්ධයෙන් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන දැක්වූ අදහස් පිළිබඳ රෝහල් අධ්‍යක්ෂවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීමෙන් පසු ඒ පිළිබඳ පරීක්ෂණයක් ද මේ වනවිටත් ආරම්භ කර ඇත. රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ එම පරීක්ෂණ කණ්ඩායම විසින් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගෙන ඇති බවයි.

(මෙම පුවත සම්බන්ධයෙන් යම් පාර්ශවයකට හෝ පුද්ගලයකුට අගතියක් සිදුවන්නේ යැයි හැඟෙන්නේනම් ඔවුන් විසින් කරනු ලබන පැහැදිලිකිරීම් සඳහා ද මේ හා සමාන ඉඩක් ලබා දෙන ලෙස අපි ප්‍රකාශ කර සිටිමු.)

Related articles

Recent articles

spot_img