-5.9 C
New York

යළි සොයාගත් ශාක රැසක තොරතුරු සමඟ රතු දත්ත පොත නිකුත්වෙයි

Published:

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වඳ වී ගොස් ඇතැයි ජාතික රතු දත්ත ලේඛනයට ඇතුළත්ව තිබූ ශාක විශේෂ 05ක් අතරින් ශාක විශේෂ 03ක් යළි සොයාගෙන ඇති බව අද (03) පරිසර අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2020 රතු දත්ත ලේඛනයේ දැක්වේ.

2012 රතු දත්ත ලේඛනය අනුව වඳවී ගියායැයි වර්ග කර තිබූ Doona ovalifolia (පිණි බෙරලිය) විශේෂය නැවත හමුවීම හේතුවෙන් එම ලේඛනයෙන් ඉවත්කර තිබේ. එසේ වුව ද එම ලේඛනයේ තිබූ Alphonsea hortensis විශේෂය තවදුරටත් එසේම තිබෙන අතර එලෙස ස්වභාවික පරිසරයෙන් වඳවී ඇතැයි සැ‍ළකෙන ශාක ලේඛනයට Eugenia xanthocarpa විශේෂය අලුතෙන් ඇතුළු කර ඇත.

එමෙන් ම වසර 100කට ආසන්න කාලයක් පුරා වාර්තා නොතිබූ ශාක විශේෂ 177ක් වඳවී ගිය බවට සැකකරමින් 2012 රතු දත්ත ලේඛනයට ඇතුළත්ව තිබූ අතර ඉන් ශාක 70ක් පමණ මේ වනවිට සොයාගෙන තිබීම ද විශේෂයකි. එලෙස සොයාගත් ශාකවල ඡායාරූප කිහියක් ද අද නිකුත් කළ රතු දත්ත ලේඛනයට ඇතුළත් කර තිබේ.

වඳවී ගියායැයි 2012 රතු දත්ත ලේඛනයේ සඳහන්ව තිබූ කෲඩියා සෙලනිකා නම් ශාකය ගම්පහ දිස්ත්‍රික්කයෙන් සොයාගැනීමත්, එම ශාකය අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් විනාශ වන බවටත් මත පළවීම හේතුවෙන් මහත් ආන්දෝලනයක් ඇති වී තිබිණි. නමුත් උද්භිද විද්‍යාඥයන් පවසන්නේ වඳවී ගිය ශාකයක් ලෙස නම්කර තිබූ එය මේ වනවිට ස්ථාන ගණනාවකින් හමුවී ඇති බවිය.

Crudia zeylanica ශාකයට අමතරව Rinorea benghalensis සහ Rinorea decora යන ශාක විශේෂ දෙක ද මේ වනවිට හමුවී තිබෙන බව රතු දත්ත ලේඛනයේ දැක්වේ. ශාක පිළිබඳ පර්යේෂකයකු වන භාතිය ගොපල්ලව පවසන්නේ එම ශාක තුනම පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පරිභාහිර ශාක එකතුවටත් ඇතුළත් කර තිබෙන බවයි.

නමුත් 2012 රතු දත්ත ලේඛනයේ වඳවී ගියායැයි නම්කර ඇත Blumea angustifolia සහ Strobilanthes caudata යන ශාක විශේෂ දෙක මෙතෙක් හමුවී නැති බැවින් මෙවර රතු දත්ත පොතේ ද එම ශාක දෙක වඳවී ගිය ශාක ලෙස නම්කර තිබේ. මෙතෙක් සොයාගැනීමට නොහැකි වූ එම විශේෂ දෙක අවසන්වරට හමු වී ඇත්තේ මහනුවර ප්‍රදේශයෙනි.

2012 වර්ෂයේ ජාතික රතු දත්ත ලැයිස්තුවේ වඳ වී ගිය ශාක ලෙස නම්කළ ශාක, වඳ වී ගියායැයි සැකකරන ශාක හා වාර්තා නොමැති ශාක ලෙස වර්ගීකරණය කර තිබූ ලේඛනවල නම් සඳහන් වූ ශාක විශේෂවලින් වර්ග 70කට ආසන්න ප්‍රමාණයක් යළි වාර්තා කිරීමට හැකිවීම මෙරට ශාක පිළිබඳ පර්යේෂකයන් ලැබූ සුවිසල් ජයග්‍රහණයකි. දේශීය පර්යේෂකයන් ඒ සඳහා විශාල වශයෙන් දායක වී ඇති අතර විදේශීය පර්යේෂකයන්ගේ සහාය ද ලැබී තිබේ.

පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව කාර්‍යංශයේ මූලිකත්වයෙන් සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ, ජාතික ශාකාගාරයේ තාක්ෂණික සහයෙන් සහ IUCN ආයතනයේ සහයෙන් ජාතික රතු දත්ත ලේඛනය සකසයි.

දේශීය හා විදේශීය පර්යේෂකයන් විසින් සිදුකරන ලද පර්යේෂණ, පාරිසරික ගවේෂකයන්ගේ තොරතුරු පදනම් කරගනිමින් මෙම ලේඛනය නිකුත්කරනු ලබයි.

මෙම පර්යේෂණවල ප්‍රතිඵල ලෙස එක් ස්ථානයකින් වාර්තා වී මෙතෙක් වෙනත් ප්‍ර‍දේශවලින් වාර්තා නොවූ ශාක, අලුතෙන් සොයාගත් ශාක විශේෂ, මීවන වර්ග, දිලීර මෙන්ම ලයිකන හා පාසි වර්ග ද මෙම ලේඛනයට ඇතුළත් කර තිබේ. එම ‍තොරතුරු ඉදිරියේ දී rata.lk පාඨකයන් වෙත ගෙන ඒමට අප සූදානම්.

ඡායාරූප – භාතිය ගොපල්ලව

Related articles

Recent articles

spot_img