නිරෝධායන ඇඳිරිනීතිය අඛණ්ඩව ලබන සැප්තැම්බර් 13 වැනි දා දක්වා දීර්ඝ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියා සිටියි.
අද (03) පෙරවරුවේ රැස්වන කොරෝනා මර්ධනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මේ පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතව තිබිණි. වෛද්‍ය විශේෂඥයන් ඇතුළු සෞඛ්‍ය අංශ ඉල්ලා තිබුණේ කොරෝනා වසංගතය මේ වනවිට යම් තරමකින් පාලනය වන බවක් පෙනෙන බැවින් එය තවදුරටත් පාලනය කිරීම සඳහා අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් රට වසා දැමිය යුතු බවයි.
ඒ අනුව ලබන සඳුදා (06) අලුයම 4.00ට ඉවත්කිරීමට නියමිතව තිබූ නිරෝධායන ඇඳිරිනීතිය පෙර දැනුම් දුන් පරිදි ඉවත් නොකිරීමටත් සැප්තැම්බර් 13 වැනි දා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමටත් තීරණය කර තිබේ.
එදින ඇඳිරිනීතිය ඉවත්කිරිම පිළිබඳ යළි ලබන සිකුරාදා (10) රටේ තත්වය සමාලෝචනය කර තීරණය කරනු ඇත.
