රුපියල් 90.00 තිබූ කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 95.00 දක්වා ඉහළ දැමීමට හැකිවන ආකාරයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ (02) ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
සතොස අළෙවි සැල්වල පසුගිය දා කැකැළු සහල් අළෙවි කරන ලද්දේ රුපියල් 90.00ට වන අතර ඇතැම් වෙළෙඳ සැල්වල රුපියල් 88.00 වැනි මුදලකට ද සහල් අළෙවි කරන ලදී.
නමුත් ඊයේ (02) නිකුත් කරන ලද පාලන මිළෙහි දැක්වෙන්නේ කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 95.00ක් බවයි.
ඒ අනුව කැකුළු සහල් කිලෝවක මිල ඉහළ දැමීමට සියළු වෙළෙඳුන්ට හැකියාව ලැබෙයි.
මේ අතර සීනි සඳහා ද උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක විසින් ඊයේ (02) සිට බලපැවැත්වෙන පරිදි නිකුත්කර ඇති එම ගැසට් නිවේදනයේ සඳහන් කර සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 116.00 වන අතර සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 122.00ක් බවයි.
එමෙන්ම පැකට් කළ සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 125.00කි.
දුඹුරු හෝ රතු සීනි කිලෝ ග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 125.00ක් වන අතර පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝ ග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 128.00ක් විය යුතුය.
මේ අතර සුදු හා රතු කැකුළු කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 95.00 ක්, සුදු හා රතු නාඩු කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 98.00 ක්, සුදු හා රතු කැකුළු සම්බා කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 103.00ක්, කීරි සම්බා කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 125.00ක් වශයෙන් මෙම ගැසට් නිවේදන මගින් උපරිම සිල්ලර මිල නියම කර ඇත. මෙම ගැසට් නිවේදනයෙන් නියම කර තිබේ.
රට වසා දැමීමට පෙර පසුගිය අගෝස්තු 20 වැනි දා සතොස වෙළෙඳ සැළකින් ලබාගත් භාණ්ඩවල මිල බිල්පතක් පහත දැක්වෙයි. එහි රතු කැකුළු කිලෝ ග්‍රෑම් එකක මිල දැක්වෙන්නේ රුපියල් 90.00ක් ලෙසිනි. ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය අනුව සහල් වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයන්ට සහල් මිල පැවති මිලටත් වඩා රුපියල් 5.00ක් වැඩිකර විකිණීමට අවස්ථාව හිමිවී තිබේ.



