-5.9 C
New York

අවසන් ඇමරිකානු යානය කාබුල් ගුවන්තොටින් පිටවේ

Published:

වසර 20ක කාලයක් පුරා පැවති දීර්ඝ යුද්ධය නිමා කරමින් ඇමරිකා එක්සත් ජනපද භටයින් රැගත් අවසන් ගුවන් යානය අද (31) ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන්තොටුපොළින් පිටවගියේය.

ඇමරිකානු බලධාරීන් පවසන්නේ අවසන් සී 17 ගුවන් යානය ඇමරිකානු තානාපති ද සමඟ පිටත් වූ බවයි.

කෙසේවුවද නියමිත දිනට පෙර පිටව යෑමට නොහැකි වූවන්ට උපකාර කිරීමේ රාජ්‍යතාන්ත්‍රික මෙහෙවර අඛණ්ඩව සිදුකෙරෙන බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

අවසන් ඇමරිකානු යානය පිටත් වීම සමරමින් තලේබාන් සාමාජිකයින් අහසට වෙඩි තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තලේබාන් සංවිධානය කාබුල් අගනුවර අල්ලා ගැනීමෙන් පසු අගෝස්තු 14 වනදා ආරම්භ වූ දැවැන්ත ඉවත් කිරීමේ ප්‍රයත්නයේ අවසානය එලෙස සටහන් විය.

එම මෙහෙයුමේ දී ඇමරිකාව ඇතුළු මිත්‍ර රටවල ගුවන් යානා වලින් සාමාන්‍ය වැසියන් 123,000කට වැඩි පිරිසක් මේ වනවිට ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර තිබේ. මෙම ඉවත් කිරීම “දැවැන්ත මිලිටරි හා රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක්” ලෙස හැඳින්වෙන අතර එය ඇමරිකාව මෙතෙක් සිදුකළ ඉතාම අභියෝගාත්මක එකක් විය.

මේ සම්බන්දව අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මෙසේ පැවසීය,

“නව පරිච්ඡේදයක් ආරම්භ වී තිබේ, හමුදා මෙහෙයුම අවසන්, නව රාජ්‍යතාන්ත්‍රික මෙහෙවරක් ආරම්භ වී ඇත. තලේබාන් සංවිධානය එහි නීත්‍යානුකූලභාවය උපදවාගත යුතුය. සිවිල් වැසියන්ට රට තුළ නිදහසේ සිටීමත් අවශ්‍ය විට පිටත්ව යෑමට අවසර දීම ඇතුළු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් ත්‍රස්ත කණ්ඩායම් වල සහාය ලබා නොගැනීමත් තක්සේරු කිරීම සිදුකිරීමට අප බලාපොරොත්තු වනවා.”

ඇමරිකානු තානාපති කාර්යාලයේ මෙහෙයුම් කටාර්හි දෝහා අගනුවර වෙත මාරුකරමින් ඇමරිකාව කාබුල් හි සිය රාජ්‍යතාන්ත්‍රික කටයුතු අත්හිටුවා ඇත.‍

ඇමරිකානු හමුදාව ඉවත්වීමෙන් පසු තලේබාන් සටන්කාමීන් කාබුල් ගුවන්තොටුපල ගවේෂණය කර එහි පහසුකම් අත්පත්කරගත් බව විදෙස් මාධ්‍ය පවසයි.

තලේබාන් සංවිධානය මුලිනුපුටා දැමීම සඳහා 2001 වසරේ ඇෆ්ගනිස්ථානයට පැමිණි ඇමරිකානු හමුදාව ම නැවත එම සංවිධානයට ඇෆ්ගනිස්ථානයේ පාලනය භාර දීම දෛවෝපගත සිදුවීමක් බව විදෙස් විචාරකයෝ පවසති.

https://www.bbc.com/news/world-asia-58390085

Related articles

Recent articles

spot_img