spot_img
spot_imgspot_img

විදෙස් ව්‍යාපාර සමඟ LOLC යළි පළමු තැනට

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ දෛනික ගනුදෙනු 67,543ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 12,852ක් ලෙස වාර්තා කෙරිණි.

ගනුදෙනු අතරතුර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 9,112ක් දක්වා ඉහළ ගිය අතර එය මෙතෙක් කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ ලබාගත් වැඩිම අගයයි. පසුගිය කාලසීමාව තුළ කොටස් ගනුදෙනුවලින් අධික ලෙස ලාභ උපයාගත් ආයෝජකයන් තම ලාභ නිදහස් කිරීම සඳහා කොටස් විකිණීමත්, තැරැව්කාර සමාගම් කීපයක පරිගණක පද්ධතිවල සිදු වූ තාක්ෂණික දෝෂයන් කිහිපයක් ද හේතුවෙන් දිනය අවසාන වනවිට සමස්ත කොටස් මිල දර්ශකය පෙර දිනට සාපේක්ෂව ඒකක 36.8කින් පහළ ගොස් ඒකක 8,894ක් ලෙස සටහන් විය.

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ වැඩි වටිනාකමකින් කොටස් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 4,793යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,814යි, ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 1,281ක් ලෙස මූලික විය.

කොටස් ගනුදෙනු අතරතුර වැඩි වශයෙන් කොටස් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස් මිලියන 446ක් ද, එස්ඊඑම්බී සමාගමේ කොටස් මිලියන 41ක් ද, එල්ඕඑෆ්සී ෆයිනෑන්ස් සමාගමේ කොටස් මිලියන 19ක් ද ලෙස කැපී පෙණිනි.

අද ගනුදෙනු අතරතුරු සිදු වූ විශේෂත්වයක් වන්නේ ඊයේ දිනය දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළේ වටිනාම සමාගම ලෙස සඳහන්ව තිබූ එක්ස්පෝ ලංකා සමාගමේ අගයන් ඉක්මවමින් එල්ඕඑල්සී සමූහ සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි වටිනාම සමාගම බවට පත්වීමයි. ඒ අනුව එල්ඕඑල්සී සමාගමෙහි කොටස්වල වටිනාකම රුපියල් බිලියන 285 ඉක්ම වූ අතර එක්ස්පෝ ලංකා සමාගමේ කොටස්වල වටිනාකම රුපියල් බිලියන 278 ඉක්මවමින් දෙවැනි තැනට පත්ව ඇත.

සංවෘත කවයේ කොටස් හුවමාරු සිදුවූ සමාගම් සහ අගයන් වශයෙන් ජෝන් කීල්ස් සමාගම රුපියල් 130.50 බැගින් ද , එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් 63 බැගින් ද, සණස සංවර්ධන බැංකුව රුපියල් 50.50 බැගින් ද කොටස් හුවමාරු වූ අතර වෙලෙඳ පොළේ ගනුදෙනු අතරතුර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස් මිලියන 22ක් රුපියල් 10.30 බැගින් ගනුදෙනු වීම විශේෂත්වයකි.

අද දිනයේ කොටස් මිල ඉහළ ගොස් දෛනිකව වැඩිම ලාභ ලැබූ සමාගම් අතර එස්ඊඑම්බී සමාගම ‍25%ක් ද, එච්එන්බී ෆයිනෑන්ස් සමාගම 24% ද, එච්එන්බී ෆයිනෑන්ස් (X) 23% බැගින් ද කැපී පෙණිනි.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 95ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 223ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ඔවුන් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ශුද්ධ ලෙස රුපියල් මිලියන 128ක ආයෝජන ඉවත්කරගෙන ඇත.

අද දිනයේ වදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර හේලීස් සමාගම රුපියල් මිලියන 11යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 04යි, එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 03 ක් ලෙස ප්‍රධාන වූ අතර විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 46යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 28යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 19යි ලෙස මූලික විය.

එල්ඕඑල්සී සමාගම් සමූහය විසින් ලෝ‍කයේ වෙනත් රටවල් කිහිපයක ආරම්භ කර ඇති සහ ආරම්භකිරීමට යෝජිත සමාගම් කිහිපයක් සම්බන්ධව කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත නිවේදනයක් මගින්න් දැනුම් දී තිබේ. ඒ අනුව එල්ඕඑල්සී සමාගම් සමූහය විසින් මධ්‍යම ආසියාවේ රටවල් කිහිපයක සහ අප්‍රිකානු රටවල් කිහිපයක තම විදෙස් ව්‍යාපාර ආරම්භකරන බව පවසා ඇත. එම ව්‍යාපාර අතර ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ඉක්මවන ව්‍යාපාර කිහිපයක් ද ආරම්භ කරන බව එම සමාගම් සමූහය පවසයි.

‍කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි මේ දිනවල ආයෝජකයන් ලැබූ ලාභ නිදහස් කිරීම හේතුවෙන් විශාල විකිණීම් ප්‍රමාණයක් වාර්තාවන නමුත් එම විකිණීම් මිල දී ගැනීම සඳහා ඇණවුම් ද ඉදිරිපත් වන බැවින් සුළු සුළු විචල්‍යයන් සහිතව කොළඹ කොටස් වෙළෙඳ පොළෙ අගය තවත් ඉහළයට යනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළකරති.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!