spot_img
spot_imgspot_img

දකුණේ ප්‍රධාන ලේකම් රාජ්‍ය නිලධාරීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරයි. රජය බේරාගන්න නිලධාරීන්ගේ කට වැසිමේ තැතක්

පුවත්

විදෙස්

දකුණු පළාත් සභාවේ සියලුම තනතුරුවල සේවය කරන නිලධාරීන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා විසින් ඊයේ (28) සියලු ආයතන ප්‍රධානීන්ට උපදෙස් සහිත ලිපියක් නිකුත් කර තිබේ.

එම ලිපිය නිකුත්කරමින් ප්‍රධාන ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති අතර අධිකරණ නියෝගවලට ද පටහැනිව කටයුතු කර තිබේ.

එහි සඳහන් වන්නේ තමන් මේ දැන්වීම කරනු ලබන්නේ දකුණු පළාත් ආණ්ඩුකාරවයාගේ උපදෙස් මත බවයි.

රටේ පවතින තත්වය කළමනාකරණය කිරීම සඳහා රජය විසින් ගනු ලබන විවිධ ප්‍රතිප්තතිමය තීන්දු හා තීරණ ආයතන සංග්‍රහයේ විධිවිධානයන්ට පටහැනිව සමාජ මාධ්‍ය ජලා සහ විවිධ සූක්ෂම ක්‍රම උපයෝගී කරගනිමින් පළාත් සභාව යටතේ ඇති ආයතනවල නිලධාරීන් විසින් විවේචනය කරන අවස්ථා ඇති බැවින් මෙම නිවේදනය නිකුත් කරන බව ප්‍රධාන ලේකම්වරයා දක්වා ඇත.

ඔහු එහි සඳහන් කර ඇත්තේ ජනමාධ්‍ය සහ මහජනතාවට නිල ප්‍රවෘත්ති සැපයීම සහ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් වන ආයතන සංග්‍රහයේ වගන්ති කෙරෙහි සහ රජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2019  කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

එම විධිවිධාන අනුව කටයුතු කිරීම සියලුම නිලධාරීන්ගේ වගකීම හා යුතුකම වන බැවින් එකී විධිවිධාන පිළිපැදීම සම්බන්ධයෙන් සියලු සේවකයන් දැනුම්වත් කරන ලෙසත් එම වගන්ති උල්ලංඝනය කරන අය සම්බන්ධයෙන් සෘජුවම විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ප්‍රධාන ලේකම්වරයා උපදෙස් දී ඇත.

ප්‍රධාන ලේකම්වරයා අවම වශයෙන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ සාමාන්‍ය භාවිත නීතිය හෝ නොදැන මෙවැනි උපදෙසක් දීම පුදුම සහගතය.

මෙම ලිපිය නීති විරෝධී වන්නේ ඇයි ?

  1. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙරට සියලු පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සුරක්ෂිත කර ඇත. මෙම ලිපිය එය උල්ලංඝනය කරයි
  2. එමෙන් ම 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතේ 40 වැනි වගන්තිය අනුව යම් පොදු අධිකාරියක තොරතුරු සඳහා ප්‍රවේශවීමට පුරවැසියන්ට අවස්ථාව ඇති තොරතුරක්, ආයතනයේ ඕනෑම අයකු විසින් ඕනෑම පුරවැසියකුට කවර ආකාරයකින් හෝ ලබා දුන්නේ නම් එලෙස ලබාදුන් තැනැත්තාට හෝ තැනැත්තියට හෝ එරෙහිව කිසිදු ආකාරයක විනයානුකූළ ක්‍රියාමාර්ගයක් ගැනීමට නිතීමය අවසරයක් නැත.

ප්‍රධාන ලේකම්වරයාගේ ලිපිය අධිකරණයට අභියෝගයක් වන්නේ කෙසේද ?

  1.  හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටිය දී 1993 වර්ෂයේ රට පුරාම එකම වේලාවක සංවිධානය කර තිබූ “ජනඝෝෂාව” සිදුකරමින් තිබිය දී එය නතර කළ ඉංගිරිය පොලිසියට එරෙහිව නීතිඥයකු වූ මහින්ද රාජපක්ෂ ද පෙනී නඩුවක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් ප්‍රකාශයට පත්කර ඇත්තේ “පුරවැසියන්ට රජය විවේචනය කිරීමේ අයිතිය තිබෙන බවයි”. එම තීන්දුවව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩි දුරටත් භාෂණය සහ ප්‍රකාශනය සම්බන්ධයෙන් මෙසේ සඳහන් කොට ඇත.

    “The right to support or to criticize the governments and political parties , policies and programmes is fundamental to the democratic way of life, and the freedom of speech and expression is one which cannot be denied without violating those fundamental principles liberty and justice which lie at the base of all political and civil institutions.”
  2. එමෙන් ම, විජේරත්න එදිරිව පෙරේරා (SCFR 379/93,SCM 2.3.94) නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ මෙලෙසිනි. “ රාජ්‍යයෙහි ක්‍රියාකාරිත්වය විවේචනය කිරීමද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවකි.”
  3. එම නඩු දෙකට අමතරව තවත් නඩු රැසක් සම්බන්ධයෙන් විවිධ අධිකරණ මගින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සුරක්ෂිත කර තිබේ.

ආයතන සංග්‍රහයේ නියෝගවලින් හෝ චක්‍රලේඛවලින් රාජ්‍ය නිලධාරීන්ගේ භාෂණය හා ප්‍රකාශනයට සීමා දැමිය හැකි ද ?

  1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 15.7 වගන්තිය අනුව පුද්ගලයකුගේ අදහස් ප්‍රකාශ කිරීම, රටේ නිදහස, ජාතික ආරක්ෂාව, ජාතික සමගිය, මහජන සෞඛ්‍යය, නීතියේ පැවැත්ම යන කරුණුවලට අදාලව නීතියෙන් නියම කරන ලද සීමාවන්ට යටත්ව ඕනෑම පුරවැසියකුට හිමිවෙයි.
  2. නීතිය යන්න 270 වගන්තියේ විස්තර කර ඇත. එම වගන්තිය අනුව මෙරට නීතියක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු, පාර්ලිමේන්තුව මගින් සම්මත කරගන්නා ලද පනතක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතිකිරීමට පෙර වෙනත් ව්‍යවස්ථාදායකයක් විසින් ඇතිකරන ලද නියෝග සහ රාජ සභා ආඥා පනත් පමණි.
  3. 2016 අංක 12 දරණ තොරතුරු පනත පාර්ලිමේන්තුවේ සම්මතවීමෙන් පසු 6/2019 චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත්කර ඇතත් එය මෙරට වලංගු නීතියක් නොවේ. චක්‍රලේඛයක් යනු නිලධාරියකු විසින් නිකුත්කරන ලද උපදෙස් මාලාවක් පමණි.
  4. එමෙන්ම ආයතන සංග්‍රහය ද මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීතියක් නොවේ. එය අමාත්‍ය මණ්ඩලයේ අනුමත වූ ලේඛනයක් පමණි.

එමෙන් ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ස්ථාපිත ව්‍යුහයන් වුව ද මෙරට කිසිදු ප්‍රාදේශීය සභාවකට හෝ පළාත් සභාවකට හෝ නීති සෑදීමේ බලයක් නැත.

එබැවින් දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් සිදුකර ඇත්තේ මෙරට පුරවැසියන්ට හිමිව ඇති මූලික අයිතිවාසිකම් අහිමිකිරීමට අනීතිකව කටයුතු කිරීමයි.

ප්‍රධාන ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපිය

(මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට හෝ ආයතනයකට අගතියක් සිදුවන්නේ යැයි සිතන්නේ නම් එලෙස අගතියක් සිදුවන පුද්ගලයන් හෝ පාර්ශවයන් විසින් කරනු ලබන පැහැදිලි කිරීම් මෙවැනිම ඉඩක් වෙන්කර පළ කිරීමට අප කටයුතු කරන බව ද දන්වා සිටියි)

2 COMMENTS

  1. ඉතා වැදගත්. එමෙන්ම සියලු තොරු පසුබිම ආවරණය කර ඇත.ස්තුතියි.

  2. කිසිදු පළාත් සභාවකට නීති සෑදීමේ බලයක් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අනුව පළාත් සභාවකට සීමා සහිතව නීති සකස් කර ගත හැක.

Leave a Reply to Gemunu Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!