-5.9 C
New York

මාධ්‍ය විශිෂ්ටයකු වූ එල්මෝ ගුණරත්න සිය වැඩිමල් පුතු ද සමඟ දිවියෙන් සමුගනී

Published:

මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වන එල්මෝ ගුණරත්න අද (28) උදෑසන සහ ඔහුගේ වැඩිමහල් පුතු දමිත ගුණරත්න ඊයේ (27) රාත්‍රී මියගියහ.

කොරෝනා ආසාදනය වී සිටි එල්මෝ ගුණරත්න සිය නිවසේ දී අද මියයනවිට 89 වැනි වියෙහි පසුවූයේය. දමිත ගුණරත්නට ඊයේ ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි දී මියගියේය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන එල්මෝ ගුණරත්න පුවත්පත් ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ “සිංහලයා” පුවත්පතෙනි.

පසුව ලේක්හවුස් ආයතන‍යේ සේවයට බැඳී දිගු කලක් සේවය කරමින් සිටිය ද එම ආයතනය රජයට පවරා ගැනීමට විරෝධය දක්වමින් ඉන් ඉල්ලා අස්වූ හෙතෙම තායිලන්තයේ ‘බැංකොක් පෝස්ට්’ පුවත්පතේ ප්‍රධාන උප කර්තෘවරයා ලෙසත් සේවය කළේය.

පසුව 1978 දී ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයේ කළමනාකාර කර්තෘවරයා වශයෙන් යළි මෙරට මාධ්‍යයට අවතීර්ණ වූ එල්මෝ “ලංකාදීප” “සන්ඩේ ටයිම්ස්” සහ “ඩේලි මිරර්” පුවත්පත් තුනේම එකවර කර්තෘ ධූරය දැරුවේය.

එල්මෝ ගුණරත්න මෙරට අමාත්‍යාංශ කිහිපයක ම උපදේශකවරයකු ලෙස ද කටයුතු කර තිබේ. නැසීගිය නන්දා ගුණරත්නගේ සැමියා වූ ඔහු දමිත ගුණරත්න, හර්ෂ ගුණරත්න, තුෂාර ගුණරත්න සහ රජීව් ගුණරත්න යන අයගේ පියාණන්ය.

එල්මෝගේ පුත් තුෂාර ගුණරත්න කලක් ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස කටයුත කළ අතර පසුව මව්බිම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වූයේය. ඔහු මේ වනවිට මව්රට පුවත්පතේ කර්තෘවරයා වෙයි.

Related articles

Recent articles

spot_img