කොරෝනා වයිරසයට එරෙහිව තායිවානය විසින් දේශීයව නිපදවන ලද මෙඩිජන් නැමැති එන්නත එරට ජනතාව සඳහා ලබාදීම ආරම්භ කර තිබේ.
හදිසි භාවිතය සඳහා තායිවාන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එන්නතට අනුමැතිය ලබාදුන්නද එහි සායනික පරීක්ෂණ සම්පූර්ණ වීමට පෙර අනුමත කිරීම සම්බන්දයෙන් විපක්ෂයෙන් විවේචන එල්ලවී තිබේ.
එන්නත මාත්‍රා දෙකකින් යුතු වන අතර තුන්වන මට්ටමේ අත්හදා බැලීම් සම්පූර්ණ කිරීමට තිබියදී අනුමැතිය හිමි විය. එන්නත නිශ්පාදනය කරන “Medigen Vaccine Biologics Corp” සමාගම පවසන්නේ මෙම වසර අවසානය වනවිට එහි අත්හදාබැලීම් සම්පූර්ණ කරන බවයි. මෙය නොවාවැක්ස් එන්නතට සමාන එකක් බවද සඳහන් වේ.
“අප අත්හදාබැලීම් රාශියක් සිදුකළා. අපේ එන්නත සුරක්ෂිත බව පැහැදිලියි. එයින් ඇතිවන අතුරු ආබාධ අවමයි, උණ හටගන්නේ නැහැ” යැයි මෙඩිජන් සමාගම පවසයි.
තායිවාන ජනතාවට මොඩර්නා සහ ඇස්ට්‍රසෙනිකා එන්නත් ලබාදීම සිදුකළ නමුත් එන්නතක් ලබාගැනීමට ජනතාවගේ ඇති අකමැත්ත සහ බෙදාහැරීම ප්‍රමාද වීම හේතුවෙන් එරට එන්නත්කරණ ක්‍රියාවලියට බාධා එල්ලවී තිබිණි. මිලියන 23.5ක ජනගහනයක් සිටින තායිවානයේ එන්නත්කරණය සම්පූර්ණ කර ඇත්තේ 5%කි. ජනතාවගෙන් 40%ක් එක් මාතාවක් පමණක් ලබාගෙන තිබේ.
එන්නත් ක්‍රියාවලිය දිරිමත් කිරීම සඳහා ජනාධිපතිනී ට්සායි ඉන්-වෙන් අද (23) මෙඩිජන් එන්නත ලබාගත් බව එරට මාධ්‍ය වාර්තාකර ඇත. මෙඩිජන් එන්නතට අනුමැතිය හිමිවන තුරු එන්නත විද ගැනීම ඇය ප්‍රමාද කළ බව පැවසේ.
කෙසේවුවද මේවනවිට මෙඩිජන් එන්නත ලබාගැනීම සඳහා තායිවානයේ 700,000ක පමණ පිරිසක් ලියාපදිංචි වී තිබේ.
තායිවානය කොවිඩ් රෝගය පාලනය සම්බන්දයෙන් සාර්ථක රටක් ලෙස සැලකෙන අතර මේවනවිට වාර්තා වන්නේ දිනකට රෝගීන් 10ක් වැනි සංඛ්‍යාවකි. නමුත් ඩෙල්ටා ප්‍රබේදය ව්‍යාප්ත වීම හේතුවෙන් පසුගිය මැයි මාසයේ රෝගීන් වැඩිපුර වාර්තා වී තිබිණ.